

රටවල් අතර පැතිරී ගිය යුද්ධ 8ක් නැවැත්වීමට මැදිහත් වුවද නොබෙල් සාම ත්‍යාගය තමාට ලබා නොදීම නිසා සාමය ගැන සිතීමට බැඳී නොසිටින බවත්, මින් ඉදිරියට අමෙරිකාවේ යහපත වෙනුවෙන් පමණක් කැපවෙන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ.
නෝර්වේ අගමැති ජොනාස් ගාර් ස්ටෝර් වෙත පණිවිඩයක් යවමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කැර ඇති බව අනාවරණය වෙයි.
නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීම ගැන නොබෙල් කමිටුවට දොස් පවරා තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ නෝර්වේ අගමැතිවරයා අතර පසුගියදා සිදු වු කෙටි පණිවුඩ හුවමාරුවේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට අමෙරිකාවට ඇති අවශ්‍යතාව සහ නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ සාකච්ඡාවට ලක්වී ඇති අතර, තොරතුරු දැනගැනීමේ පනත යටතේ නෝර්වේ රජය එම පණිවුඩ හුවමාරුව ප්‍රසිද්ධියට පත් කැර තිබේ.
ග්‍රීන්ලන්තය අත්පත් කරගත යුතු බව එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේම ප්‍රකාශ කැර ඇති අතර, රුසියාවෙන් සහ චීනයෙන් ග්‍රීන්ලන්තය ආරක්ෂා කැර ගැනීමට ඩෙන්මාර්කයට හැකියාවක් නැති බවත් ඔහු සඳහන් කැර තිබේ. ඩෙන්මාර්ක රජයට ග්‍රීන්ලන්තය සම්බන්ධව ඇති අයිතිය ද ඔහු නෝර්වේ අගමැතිවරයාගෙන් විමසා ඇති බවත්, එවැනි අයිතියක් සම්බන්ධයෙන් නීත්‍යනුකුල ලියැවිල්ලක් ඩෙන්මාර්කයට නොමැති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කැර ඇත.
මෙයට වසර සිය ගණනකට පෙර ඩෙන්මාර්ක වැසියන් මෙන්ම අමෙරිකානු වැසියන් ද ග්‍රීන්ලන්තයට සේන්දු වූ බව ප්‍රකාශ කැර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තයේ සම්පූර්ණ පාලනය අමෙරිකාවට නොලැබෙන්නේ නම් ලෝකය ආරක්ෂාකාරී නොවනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ. නේටෝ සංවිධානය සිය තීරණයට එරෙහිවීම පිළිබඳ අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ‘’නේටෝ සංවිධානය බිහිවීමෙන් පසු මේ දක්වා අන් කිසිදු පුද්ගලයකුට වඩා වැඩි දෙයක් මා විසින් ඉටු කර තිබෙනවා. නේටෝ සංවිධානයත් දැන් අමෙරිකාව වෙනුවෙන් යමක් ඉටු කළ යුතුයි.” යනුවෙන් පවසා තිබේ.( දිනමිණ ඇසුරෙන්)
