Impartial news reporting for a stronger democratic society
ඉරානය විනාශ කිරීමට වෙරදරන අමෙරිකානු කුමන්ත්‍රණය

ඉරානයේ උද්ගත වී ඇති රාජ්‍ය විරෝධී කැරැල්ලට අත පෙවීමට අමෙරිකාව උත්සාහ කිරීම නිසා මැදපෙරදිග අලුත් යුද තත්ත්වයක් මතුවී තිබේ. සති දෙකකට අධික කාලයක් අඛණ්ඩව සිදුවන විරෝධතාව පාලනය කිරීමට ඉරාන රජය දැඩි පියවර ගෙන ඇති අතර, එරට ආරක්ෂක අංශවල වෙඩි තැබීම්වලින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්ට ජීවිත අහිමි වූ බවට වාර්තා පළ වී තිබේ. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට පත් වී ඇත. ඉරාන අර්බුදය ජාත්‍යන්තරයේ වැඩි අවධානයට යොමු වී ඇත්තේ ද එබැවිනි.

ඉරාන අර්බුදයට මැදිහත්වීමට අවධානය යොමු වූයේ විරෝධතාකරුවන් දහස් ගණනින් ඝාතනයට ලක්වීම බව අමෙරිකාව කියයි. ඒ සඳහා පසුගිය දින කිහිපය තුළ ධවල මන්දිරයේ සාකච්ඡා පැවති අතර, හමුදා ප්‍රහාර ඇතුළු විකල්ප කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කැර තිබිණි. ඊශ්‍රායලයේ සහය ද ඊට නොඅඩුව ලැබී තිබේ. එය ඉරානය සමඟ පවතින පැරැණි කෝන්තරය පිරිමසා ගැනීමේ උත්සාහයක් ලෙස දකින ඉරානය, එරට උද්ගත වූ විරෝධතාව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කැර තිබේ.

ඉරානයේ උද්ගත වී ඇති විරෝධතාවට සහය පළ කිරීමේ අරමුණින් අමෙරිකාව යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බව ඉරාන රජය ප්‍රකාශ කළ අතර, මැදපෙරදිග රටවල ස්ථාපිත කැර ඇති සියලුම අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ද ඉරානය අනතුරු ඇඟවීය. කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, තුර්කිය ඇතුළු තවත් අරාබි රටවල් කිහිපයකත් පිහිටි අමෙරිකානු හමුදා ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතුවී තිබිණි. එවැනි ප්‍රහාර සිදු නොවීමට නම් ඉරානයට පහර දීමෙන් අමෙරිකාව වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඉරානය මැදපෙරදිග සෙසු මුස්ලිම් රටවලින් ඉල්ලීමක් ද කැර තිබේ.

ඝාතන

අමෙරිකානු හිතවාදී රටවල් රැසක් ඉරානයේ සිදුවන ඝාතන සම්බන්ධව දැඩි ප්‍රකාශ නිකුත් කරද්දී ඉරාන හිතවාදී රටවල් ප්‍රකාශ නිකුත් කැර ඇත්තේ අමෙරිකානු මැදිහත්වීම හෙළා දකිමිනි. පසුගිය වසරේ මැද භාගයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති යුද්ධයට ද අමෙරිකාව මැදිහත් විය. එවර පැවති දින 12ක යුද්ධය ආරම්භ වූයේ ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන මුල් කරමිනි. එහෙත් මෙවර අමෙරිකාව මැදිහත්වීමට උත්සාහ දරමින් සිටින්නේ ඉරානයේ අභ්‍යන්තර අර්බුදයකටය. එය ඉරානය සම්බන්ධව අමෙරිකාවේ ප්‍රතිපත්තිය පෙන්නුම් කිරීමක් ලෙස ද සැලකිය හැකිය. සවුදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල් දැනටමත් අමෙරිකානු හිතවාදීන් බවට පත්වී සිටින අතර, ඔවුන්ට එකම හිසරදය ඉරානය බව දෙරට අතර ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යයි. මේ තත්ත්වය වෙනස් කිරීමට එකම විකල්පය අයතුල්ලා කමේනි පාලනය බිඳ දැමීම බව ද අමෙරිකාව දනී. ඉරානයේ පාලනය වෙනස් විය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර, කමේනි රජයට එරෙහි වත්මන් විරෝධතාවට අමෙරිකාව සහය පළ කැර ඇත්තේ එබැවිනි. රටේ පවතින ව්‍යාකූලත්වය අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ කුමන්ත්‍රණයක් බව ඉරාන රජය පුන පුනා ප්‍රකාශ කැර ඇත්තේ ද එබැවිනි.

ෂා පාලනය

වර්තමානයේදී ඉරානය සහ අමෙරිකාව අතර සම්බන්ධතාව ඉතා දුර්වල මට්ටමක පැවතිය ද, 1979 විප්ලවයට පෙර ෂා පාලනය යටතේ ඉරානය පැවති යුගයේදී අමෙරිකාව ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන තිබිණි. එවකට ඉරානය හඳුන්වනු ලැබුවේ පහ්ලවි අධිරාජ්‍ය ලෙසටය. 1925 දී රීසා ෂා පහ්ලවි රජුගෙන් ආරම්භ වූ එම පාලන කාලය බිඳ වැටුණේ අවස්ථා කිහිපයකදී පමණි. ඒ සෑම අවස්ථාවකදීම ඉරානය නැවත ෂා පාලනයට නතු කිරීමට අමෙරිකාව ඉතා උපක්‍රමශීලිව කටයුතු කැර ඇත්තේ CIA සංවිධානයේ සහයෙනි. ඒ අනුව ෂා පාලනය මැදපෙරදිග කලාපයේ සිය අණසක පතුරුවාලීමට අමෙරිකාවට අතිශය වැදගත් වූ බව පෙනේ. අනිත් අතට මැදපෙරදිග කලාපයේ දීර්ඝ උපායමාර්ගික මූලධර්මයක් අමෙරිකාවට තිබිණි. ෂා පාලනය යටතේ ඉරානය, සවුදි අරාබිය සහ අමෙරිකාව අතර එවකට ප්‍රතිපත්තිමය එකඟතාවක් ද විය. එය හඳුන්වනු ලැබුවේ ‘නිවුන් කුලුනු’ ප්‍රතිපත්තිය හැටියටය.

මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට තෙල් සැපයුම පාලනය කිරීමට තරම් බලවත් වීමට ඉඩ නොදීම එහි අරමුණ විය. මේ රටවල් ත්‍රිත්වයේ සන්ධාන ගත වීම සෝවියට් රුසියාවේ මැදපෙරදිග බලපෑම් පාලනය කිරීමට අමෙරිකාව භාවිත කළ බව පෙනේ. අමෙරිකාව සමඟ පමණක් නොව, ඊශ්‍රායලය සමඟ ද එවකට ෂා පාලනය දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර, ඊශ්‍රායල රටක් ලෙස පිළිගත් ලොව දෙවැනි මුස්ලිම් රාජ්‍ය ද ඉරානය විය. ඉරානයේ විරෝධතාකරුවන්ට සහය පළ කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෑතකදී ප්‍රකාශ කැර ඇත්තේ එවකට පැවති යහපත් සම්බන්ධතාව නැවත ගොඩනඟා ගැනීමේ අරමුණ ඇතිවය. ඔහු පසුගියදා එරට කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇත්තේ, ඉරානයේ කමේනි රජය බිඳවැටීමෙන් පසු දෙරට අතර නැවත සාමය උදාවනු ඇති බවයි.

ඉස්ලාමීය රාජ්‍යය

එහෙත් 1979 විප්ලවයෙන් පැවති තත්ත්වය සහමුලින්ම වෙනස් විය. එතෙක් මැදපෙරදිග පැවති බටහිර ගැතිවාදීත්වය බිඳවැටුණු අතර, බටහිර විරෝධි රාජ්‍යයක් බවට පත් ඉස්ලාමීය රජයක් බිහි විය. එය මැදපෙරදිග කලාපයේ දේශපාලන මුහුණුවර කැපීපෙනෙන ආකාරයේ වෙනස්වීමකට පරිවර්තනය කළ විප්ලවයකි. එය තවත් අතකින් ෂියා මුස්ලිම් බහුතරයක් සිටින ඉරානයේ ෂියා නිකායට අනුකූලව කටයුතු කරන රජයක් බිහිවීමක් ලෙසත් සැලකිය හැකිය. එතෙක් ෂා පාලනය යටතේ පීඩිතයන් තළා පොඩි කැර දැමූ බටහිර ආකල්ප යටතේ ධනවාදී ප්‍රතිපත්තියක් ගෙන ගිය ඉරානය විප්ලවයෙන් පසු බිහි වූ ඉස්ලාමීය රජය යටතේ ඉස්ලාමයේ මූලධර්ම අනුව හැඩගස්වනු ලැබුවේ අයතුල්ලා කමේනිය. ඔහු ෂා පාලනය දැඩි විවේචනයට ලක් කළ බලවත්ම පුද්ගලයා වූ අතර, ඉරානයේ ෂියා මුස්ලිම් සංස්කෘතිය විනාශ කරමින් බටහිර සංස්කෘතිය සහ දේශපාලන මුහුණුවර ඉරානයේ ව්‍යාප්ත කිරීමට එරෙහිව එවකට හඬ නැඟූ එරට පූජ්‍ය පක්ෂයේ නායකයකු ද විය. විප්ලවයෙන් පසු බිහිවූ නව ඉස්ලාමීය ඉරාන ජනරජයේ උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා කමේනි පත්වූයේ එලෙසිනි.

වර්තමානය වන විට ඉරානයේ උද්ගත වී ඇති තත්ත්වය සහ විරෝධතාව මර්දනය කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් විරෝධතාකරුවන් නැවත ෂා පාලනයක් ඉල්ලා සිටීම සලකා බැලීමේදී පෙනී යන වැදගත්ම කාරණාව වන්නේ 1979න් පසුව උපන් කිසිදු ඉරාන ජාතිකයකුට ෂා පාලනය සම්බන්ධව මනා අවබෝධයක් නොමැති බවය. එවකට ෂා පාලනය යටතේ ඉරානයේ සිදු වූ දේශපාලන මර්දනය සහ ඒකාධිපතිවාදය පිළිබඳ මනා අවබෝධයක් සහිත වැඩිහිටියන්ගෙන් බහුතරය අද වන විට ජීවතුන් අතර නොමැති අතර, විරෝධතාවට එක්වූ තරුණ කොටස්වලට ඉතිහාසය අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් සහ දේශපාලනික බුද්ධියක් නොමැති බව පෙනේ. එය ඉරානය නැවත සිය ආධිපත්‍යයට නතු කැර ගැනීමේ අවශ්‍යතාව ඉටු කැර ගැනීමට අමෙරිකාව ඇතුළු බටහිර රටවලට ලැබී ඇති ඓතිහාසික අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. එවැනි බටහිර කුමන්ත්‍රණ කිහිපයක්ම ඉරාන ඉතිහාසයේ තිබේ. 1953 වසරේදි ෂා පාලනය බිඳ දමමින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වු   අගමැති මොහොමඩ් මොසාඩෙක් ඉරාන තෙල් කර්මාන්තය ජනසතු කිරීමෙන් උරණ වූ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව ඔහුගේ රජය පෙරළා දැමීමට සිදු කළ කුමන්ත්‍රණය ඊට කදිම නිදසුනකි. එය සිදු වූයේ අමෙරිකාවේ CIA සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ එම් 16 නමින් හඳුන්වනු ලබන බුද්ධි ඒකකයේ සූක්ෂ්ම ක්‍රියාමාර්ගවලිනි. මේ ආක්‍රමණශීලි ‘සුදු’ විප්ලවය ඉරානයේ ඉස්ලාමීය සහ සංස්කෘතික අනන්‍යතාවට තර්ජනයක් බව එරට ජනතාවට අවබෝධ වූයේ පසුකාලීනවය. මොසාඩෙක් රජය පෙරළා දමා නැවත ෂා පාලනය යටතේ පත් වූ මොහොමඩ් රීසා පහ්ලවි යනු බටහිර රූකඩයක් බව ද එරට ජනතාව වැඩිකල් යෑමට පෙර අවබෝධ කැර ගෙන තිබිණි. 70  දශකයේදී දැවැන්ත තෙල් ආදායමක් ලැබූ ඉරානය එම කාල සීමාවේදී ද අද මෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක්වූ අතර, දූෂණය මෙන්ම පන්ති පරතරය ද 1979 විප්ලවයට බලපා තිබිණි. ඒ වන විට ‘සවාක්’ නමින් හඳුන්වනු ලැබූ සිය රහස් පොලීසිය භාවිත කරමින් රීසා පහ්ලවි සිය ප්‍රතිවාදී දේශපාලන බලවේග මර්දනය කිරීමට පටන්ගෙන තිබූ අතර, ඒ යටතේ අයතුල්ලා කමේනිද කෙටි කාලයක් සිරගත කැර තිබිණි.

1979 විප්ලවය

සියල්ල වෙනස් වූයේ 1979 විප්ලවයෙනි. දශක ගණනාවක් පුරා පැවති සැලකි යුතු විදේශීය බලපෑම විප්ලවයෙන් නිමාවට පත්වූ අතර, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය බලපෑම් ඉවතට තල්ලු වී ගියේය. විප්ලවයෙන් පසු කැපීපෙනෙන සිදුවීමක් වූයේ එතෙක් බටහිර සමාගම්වල බලපෑමට ලක්වූ එරට තෙල් සම්පත් නැවත රජයට පවරා ගැනීමය. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ජනසතු කිරීමට ද කමේනි පාලනය පියවර ගෙන තිබිණි. ඉස්ලාමයට ප්‍රමුඛතාව දෙමින් සිදු කළ විප්ලවයෙන් පසු ඉරානය සහ සවුදි අරාබිය අතර සම්බන්ධතාවන් ද බිඳ වැටිණි. අයතුල්ලා කමේනි සවුදි අරාබිය දුටුවේ ඉස්ලාමයේ පාරිශුද්ධත්වයට හානි කරන රාජ්‍යයක් ලෙසටය. පසුකාලීනව ලෙබනනය, සිරියාව සහ යේමනය සමඟ සවුදි අරාබිය ගැටුම් ඇති කැර ගැනීමට ඉරානයේ බලපෑම ද හේතු වූ අතර, මේ රටවල් ත්‍රිත්වයටම ඉරානය කොන්දේසි විරහිතව සහය ලබා දුන්නේය. ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති වැනි සංවිධාන භාවිත කරමින් ඉරානය මැදපෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පතුරුවා හැරියේය. මැදපෙරදිග කලාපයේ අමෙරිකානු සහ සවුදි අරාබි අවශ්‍යතාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කෙළේය. ඊශ්‍රායලය සමඟ තිබූ සියලු සම්බන්ධතා අත්හැර දැමුවේය. ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දමා එහි පාලනය පලස්තීන විමුක්ති සංවිධානය වෙත භාර දුන්නේය. ඉරාන – ඊශ්‍රායල විරසකයේ ආරම්භය එය විය.

ඉරාකයේ ෂියා මුස්ලිම් බහුතරය පාලනය කිරිම සුන්නි මුස්ලිම් සුළුතරය විසින් සිදු කරනු ලැබීමට එරෙහිව හඬ නැඟූ අතර, ෂියා මුස්ලිම් බහුතරයට සහ එරට ෂියා සන්නද්ධ කණ්ඩායම්වලට සහය දුන්නේය. 1979 විප්ලවයෙන් වසරකට පසු ඉරාන – ඉරාක යුද්ධය ආරම්භ වීමට එය හේතු විය.

පසුගිය දෙසැම්බරයේ 28 වැනිදා ටෙහෙරාන් අගනුවර ව්‍යාපාරික ප්‍රජාව එක්ව ආරම්භ කරනු ලැබුවේ ආර්ථික ඉල්ලීම් මුල් කරගත් විරෝධතාවකි. එය ප්‍රචණ්ඩත්වය කරා තල්ලු වූයේ විදේශීය බලවේගවල අවශ්‍යතාව මත බව ඉරාන රජය ප්‍රකාශ කැර තිබේ. ජනතාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා විසඳීමට රජය සූදානම් බවත්, මේ අසීරු මොහොතේ විදෙස් බලවේගවලට හසුවී ඉරානය අස්ථාවර කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පසුගියදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර, විදේශීය කුමන්ත්‍රණයට හසු වී සිටින සිය දරුවන් බේරාගන්නා ලෙස එරට වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියේ එරට ඉතිහාසය සැලකිල්ලට ගනිමින් බව ඉතා පැහැදිලිය.

ෆවුස් මොහොමඩ්,

ජනවාරි 16 වැනි දා  දිනමිණ පුවත් පතට

 ලියන ලද ලිපියක් ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp