
ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය අමෙරිකාවෙන් තුරන් කිරීමට බව කියමින් එරට හමුදාව වෙනිසියුලාවේ හමුදා ප්‍රහාරයක් සිදුකර ජනාධිපති නිකොලස් මදුරෝ සහ බිරිය සීලියා ෆ්ලෝර්ස් අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන යෑම මේ වනවිට ජාත්‍යන්තරයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමකි. අමෙරිකාවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කරනු ලැබූ වෙනිසියුලාවේ ජනාධිපතිවරයා සහ බිරිය පසුගියදා නිව්යෝර්ක් නුවර අධිකරණයේදී පළමු නඩු විභාගයට පෙනී සිටි අතර, මේ වනවිට බන්ධනාගාරගතවී සිටිති. ඊළඟ නඩු වාරය මාර්තු 17 වැනිදාට කැඳවා තිබේ.
වෙනිසියුලාවේ සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥාප්තිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට ලොව පුරා බොහෝ රටවලින් ද ප්‍රකාශ නිකුත් වී ඇති අතර, එම සිදුවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදීත් දැඩි විවේචනයට ලක්විය. එය ජාත්‍යන්තරයට ලබාදුන් භයානක පූර්වාදර්ශයක් ලෙස ද හඳුන්වා තිබේ. අමෙරිකාව විසින් සිදු කර ඇත්තේ චීනයට තායිවානය ආක්‍රමණය කිරීමට සහ ඊශ්‍රායලයට ගාසා තීරය ආක්‍රමණය කිරීමට මෙන්ම රුසියාවට යුක්රේනය යටත් කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය සකස් කිරීමක් බවට ද රටවල් රැසකින් පෙන්වා දී තිබේ.
එය කෙසේ වුවත් ලෝක ප්‍රජාවගේ විරෝධය සහ අප්‍රසාදය අමෙරිකාවට හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් කිරීමට ප්‍රමාණවත් වී නැති බව ද පෙනේ. වෙනිසියුලාවේ මෙහෙයුමේ උණුසුම මැකී යෑමටත් පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ලතින් අමෙරිකාවේ තවත් රටවල් කිහිපයකට ද අනතුරු අඟවා ඇති අතර, ඔහුගේ දිගුකාලීන සිහිනය වූ ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ සැලසුම කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.
ආක්ටික් සාගරයේ පිහිටි අතිවිශාල ස්වයංපාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විකල්ප රැසක් පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, හමුදාව භාවිත කිරිම ද ඊට ඇතුළත් බවත් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. නේටෝ සංවිධානයේ සාමාජික රටක් වන ඩෙන්මාර්කය සතුව පවතින එම ස්වයංපාලන කලාපය ජාතික ආරක්ෂාව සඳහා මර්මස්ථානයක් ලෙස අමෙරිකාව සලකනු ලබයි.
කෙසේ වෙතත් ඩෙන්මාර්කයට සහාය පළ කරමින් නේටෝ සංවිධානයේ යුරෝපා රාජ්‍ය නායකයන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ට්‍රම්ප් මේ සූදානම් වන්නේ යුරෝපා රටවල එකමුතුව වන නේටෝ සංවිධානය සමඟත් අර්බුදයක් ඇති කරගැනීමට බව පෙනේ. ඒ අතරතුර ලතින් අමෙරිකානු රටවලට ට්‍රම්ප්ගෙන් එල්ල වන තර්ජනය ද ඉහළ ගොස් ඇති අතර, කියුබාව සහ කොලොම්බියාව සෘජු ඉලක්ක බවට ද පත්වී ඇත.
එය කෙසේ වෙතත් ඩෙන්මාර්කය සිය සංවිධානයේ සාමාජික රටක් වන බැවින් යුරෝපා රටවල් ග්‍රීන්ලන්ත අර්බුදයට මැදිහත් වුවද, ඔවුන්ට ට්‍රම්ප්ගේ ලතින් අමෙරිකානු ආක්‍රමණයට බලපෑම් කිරීමට හැකියාවක් නැති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊට හේතු වී ඇත්තේ මීට වසර දෙකකට පෙර අමෙරිකාව විසින් හඳුන්වා දුන් ඓතිහාසික ප්රකාශනයකි. එය නම් කර ඇත්තේ මොන්රෝවාදය නොඑසේනම් මොන්රෝ ප්රකාශනය හැටියටය.
මොන්රෝ ප්රකාශනය
වසර 1823 දෙසැම්බරයේදී එවකට අමෙරිකාවේ හිටපු ජනාධිපති ජේම්ස් මොන්රෝ විසින් යුරෝපීය කොලනිවාදයට එරෙහිව හඳුන්වා දෙනු ලැබූ මේ ප්රකාශනය අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අවධානයට ලක්වූ විදේශ ප්‍රතිපත්තිය ලෙස සැලකේ. බටහිර අර්ධගෝලයේ යුරෝපා මැදිහත්වීම් වැළැක්වීම අරමුණු කරමින් ජනාධිපති මොන්රෝ අමෙරිකානු කොන්ග්‍රසයට එය හඳුන්වා දෙනු ලැබුවේ එරට ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තිය හැටියටය. එය එවකට ජාත්‍යන්තරයේ අතිශය ආන්දෝලනයට තුඩු දුන්නකි.
ජනාධිපති මොන්රෝ එය ප්‍රකාශයට පත් කළ කාලවකවානුව වන විට ලතින් අමෙරිකාවේ බොහෝ රටවල් එවකට පැවති ස්පාඤ්ඤ, පෘතුගාල සහ ප්‍රංශ කොලනිවාදයෙන් නිදහස ලබමින් ස්වාධීන රටවල් ලෙස නැඟී සිටි යුගයකි. දකුණු අමෙරිකාව, මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන් දූපත් රාජ්‍යයන් බිහිවීමට පටන්ගෙන තිබූ යුගයකි. ලතින් භාෂාව භාවිත කරන එම රටවල් ලතින් අමෙරිකානු කලාපය ලෙස ගොඩනැඟෙමින් තිබූ අතර, යුරෝපය එම කලාපයෙන් ඈත් කර තැබීම අමෙරිකාවේ අවශ්‍යතාව වී තිබිණි. අනිත් අතට එහි යටි අරමුණ වූයේ එම රටවලට බලපෑම් කිරීමට හෝ මැදිහත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමය. එය වර්තමානය වන විට මැනවින් පැහැදිලිය.
මොන්රෝ තරයේම කියා සිටියේ ලතින් අමෙරිකානු කලාපයේ ස්වෛරී රාජ්‍යයන් පාලනය කිරීමට හෝ බලපෑම් කිරීමට යුරෝපා රටවල් දරන උත්සාහය අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන බවය. ඔහුගේ ප්රකාශනයට පදනම් වී ඇත්තේ මූලික කරුණු 4කි. යුරෝපයේ කිසිදු අර්බුදයකට අමෙරිකාව මැදිහත් නොවීම, අමෙරිකානු කලාපය තුළ තවදුරටත් යුරෝපා කොලනිවාදය ව්‍යාප්ත කිරීමට ඉඩ නොතැබීම, බටහිර අර්ධගෝලයේ ඇතිවිය හැකි අනාගත යටත්විජිතකරණය අහුරා දැමීම සහ යුරෝපා රාජ්‍යයකින් ලතින් අමෙරිකාවේ ඕනෑම රටකට එරෙහිව සිදුවිය හැකි මැදිහත්වීම් අමෙරිකාවට එරෙහි වීමක් ලෙස සැලකීම එම කරුණු අතර වේ. ආරම්භයේදී ලතින් අමෙරිකානු රටවල් ද එම ප්රකාශනයට දැක්වූයේ දැඩි ප්‍රසාදයකි. එහි අයහපත් ප්‍රතිඵල උදාවූයේ පසුකාලීනවය. විසිවැනි සියවසේ ආරම්භයේදීම එම ප්රකාශනයට එවකට අමෙරිකාවේ හිටපු ජනාධිපති තියඩෝර් රුස්වෙල්ට් තවදුරටත් ශක්තිමත් කිරිමට වැඩිදියුණු කිරීමෙන් එය මැනැවින් පැහැදිලි විය. ලෝක බලවතා වීමේ පටු අරමුණ උදෙසා රුස්වෙල්ට් 1904 වසරේදී මොන්රෝගේ ප්රකාශනයට ඇතුළත් කළ කරුණු ලතින් අමෙරිකානු රටවල යුරෝපීය බලපෑම් සහ මැදිහත්වීම් වැළැක්වීමට අමෙරිකාවට ඇති අයිතිය තහවුරු කිරීමකි. එය හඳුන්වනු ලැබුවේ රුස්වෙල්ට් සිද්ධාන්ත හැටියටය. එමඟින් ලතින් අමෙරිකානු රටවලට යුරෝපයේ ආර්ථිකයෙන් ලැබෙන සහාය අහුරා දැමුණු අතර, රුස්වෙල්ට් එය හඳුන්වනු ලැබුවේ යුරෝපා ණය බරින් ලතින් අමෙරිකාව නිදහස් කරගැනීමක් ලෙසටය. එමඟින් අමෙරිකාවට ලතින් අමෙරිකානු රටවල වෙළෙඳ කටයුතු හා ව්‍යාපාර කිරීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය විය. අමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පදනම සකස් වූයේ ඒ අනුවය.
එහි ප්‍රතිඵලය අන්තිම භයානක එකකි. පසුකාලීනව එමඟින් සීඅයිඒ නියෝජිතයෝ බුරුතු පිටින් ලතින් අමෙරිකානු රටවලට පොම්ප කිරීමට අවශ්‍ය පසුබිම සකස් වූ අතර, රටවල් රැසක අභ්‍යන්තර අර්බුද, විරෝධතා, දේශපාලන ව්‍යාකූලත්වය ව්‍යාප්ත වීමට එය ප්‍රබල සාධකයක් බවට ද පත් විය.
යුරෝපීය මැදිහත්වීම්
විසි වැනි සියවසේදී අමෙරිකාව විසින් ලතින් අමෙරිකානු රටවල මැදිහත්වීම් රාශියක් සිදු කළ අතර, ඒවා මොන්රෝගේ විදේශ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ රුස්වෙල්ට්ගේ සිද්ධාන්තවලින් යුක්ති සහගත කිරීමට ද අමෙරිකාව කටයුතු කළේය.
එහි ප්‍රතිඵලය වූයේ ලතින් අමෙරිකාවේ රටවල් ආක්‍රමණයට අමෙරිකාවට සියලු ආකාරයෙන් වටපිටාව සකස් වීමය. වර්තමානය වන විට අමෙරිකාව විසින් ලතින් අමෙරිකානු රටවල සිදු කර ඇති ආක්‍රමණ රැසකි. 1954 වසරේ පැරගුවේ ආක්රමණයේ සිට ඊයේ පෙරේදා වෙනිසියුලාවේ සිදු කළ ආක්‍රමණය දක්වා විහිදී ගිය එකකි. ලෝක ආක්‍රමණයන් සම්බන්ධව අන්තර්ජාලයේ සටහන් වී ඇති තොරතුරුවලට අනුව 1890 අර්ජන්ටිනාවේ සිදුවූ අමෙරිකානු හමුදා මෙහෙයුමේ සිට 1899 නිකරගුවා රාජ්‍යයේ සිදු කළ හමුදා ආක්‍රමණය දක්වා අමෙරිකාව විසින් 19 වැනි සියවසේදී ලතින් අමෙරිකානු කලාපයේ සිදුකර ඇති විවිධ ආක්‍රමණ සංඛ්‍යාව 10කි. එය 20 වැනි සියවසේදී බරපතළ ලෙස ඉහළ ගිය අතර, 1903දී හොන්ඩරස් රාජ්‍යයේ සිදු කළ හමුදා ආක්රමණයේ සිට 1995 දී හයිටි රාජ්‍යයේ සිදු කළ හමුදා ආක්‍රමණය දක්වා සිදුවූ ආක්‍රමණ සංඛ්‍යාව 43කි. ඉන් ඇතැම් රටවල අවස්ථා ගණනාවකදීම ආක්‍රමණයන් සිදුවී තිබේ.
මීට අමතරව ලතින් අමෙරිකාවේ කොමියුනිස්ට් බලවේග දුර්වල කිරීම සඳහා අන්ත දක්ෂිණාංශික බලවේගවලට සහාය දෙමින් හමුදා කුමන්ත්‍රණ සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ද අමෙරිකාව කටයුතු කර තිබිණි. ඒ අතරින් බොලීවියාව, බ්‍රසීලය, චිලී, කියුබාව, ඩොමිනික් රාජ්‍යය, ඉක්වදෝරය, ගෝතමාලා, හයිටි, මෙක්සිකෝව, නිකරගුවා සහ පැනමා වැනි රටවල පාලන තන්ත්රය වෙනස් කිරීමට සහ හමුදා කුමන්ත්‍රණ සිදු කිරීමට අමෙරිකාව සිදුකළ මැදිහත්වීම් කැපී පෙනේ.
අමෙරිකානු ඉතිහාසය පුරාම වරින් වර මොන්රෝ ප්රකාශනය ක්‍රියාත්මක කිරීමේ අවස්ථා රැසකි. ඒවා සිදු කර ඇත්තේ හුදෙක් බටහිර අර්ධගෝලයේ යුරෝපීය මැදිහත්වීම් වැළැක්වීමේ අරමුණින් නොවන බව ද පැහැදිලිය. 1959 කියුබානු විප්ලවයේදී එය වඩාත් හොඳින් පැහැදිලි විය. ෆිදෙල් කස්ත්‍රෝ සහ චේගුවේරා එක්ව කියුබාවේ කොමියුනිස්ට් රජයක් පිහිටුවීමේදී අමෙරිකාවේ තීරණය වූයේ ලතින් අමෙරිකාවේ සෝවියට් පිටුවහල ලැබෙන කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මොන්රෝ මූලධර්ම ක්‍රියාත්මක කළ යුතු බවටය. ඒ සඳහා ලතින් අමෙරිකාවේ එවකට අමෙරිකානු හිතවාදී රජයන් වෙත බුද්ධි සහ හමුදා සහාය ප්‍රසිද්ධියේම ලබා දුන් බව ද සඳහන් වේ.
වරින් වර විවිධාකාරයෙන් සංශෝධනයට ලක්වූ මොන්රෝ ප්රකාශනය දෙවැනි ලෝක මහා යුද සමයේදී අමෙරිකාව විසින් නැවත බලාත්මක කරනු ලැබූ අතර, ජර්මනිය විසින් ඩෙන්මාර්ක් රාජ්‍යය අත්පත් කරගැනීමෙන් පසු සිය විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඩෙන්මාර්කය සතුවූ ග්‍රීන්ලන්තය අත්කර ගත්තේ ජර්මානුවන්ට ඒ සඳහා දැරූ උත්සාහය වැළැක්වීමේ අරමුණින් යුතුවය. එහෙත් යුද්ධයෙන් පසුව ද අමෙරිකානු හමුදාව ග්‍රීන්ලන්තයේ රැඳීසිටීම ඩෙන්මාර්කයේ දැඩි අප්‍රසාදයට හේතුවී තිබිණි. 1949 වසරේදී ඩෙන්මාර්කය නේටෝ සාමාජිකත්වය ලැබීමෙන් පසු එම තත්ත්වය වෙනස් වූ බව සඳහන් වේ.
සැබැවින්ම වෙනිසියුලාවේ අතිවිශාල තෙල් සංචිතය කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමු වූයේ මෑතකදී නොවන බව ඉතිහාස තොරතුරු හාරා ඇවිස්සීමේදී පෙනී යයි. ලොව විශාලතම තෙල් සංචිතවලින් පොහොසත් වෙනිසියුලාව සිය තෙල් වෙළෙඳාම චීනය, ඉරානය ඇතුළු රටවල් කරා ව්‍යාප්ත කිරීම අමෙරිකාවේ අසතුටට හේතු වී තිබූ අතර, එය මොන්රෝ ප්රකාශනය නැවත අලුත් කිරිමට අමෙරිකාවේ අවධානය යොමු කළ කරුණක් ද විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී මොන්රෝ ප්රකාශනය කෙරෙහි දැඩි ලෙස උනන්දු වූ අතර, වෙනිසියුලාව අභ්‍යන්තරයේ හමුදා මැදිහත්වීමක් සිදු කිරීමේ හැකියාව එමඟින් ලබා ගැනීමට උත්සාහ කර තිබිණි. පසුගියදා වෙනිසියුලාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම දෙවැනි ධුර කාලයේදී සිය අරමුණ ඉටු කරගැනීමේ උත්සාහයක් ලෙස විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ එබැවිනි. සැබැවින්ම ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය සම්පූර්ණයෙන්ම විදේශ ප්‍රතිපත්ති අභිලාෂයෙන් හැඩ ගැස්වූ එකකි.
නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු ඔහු නැවත මොන්රෝ ප්රකාශනයට නැඹුරු වී සිටියි. එය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මෙවලමක් ලෙස භාවිතයට ගැනීම අරමුණ වන්නට ඇත. වෙනිසියුලාවේ තෙල් සංචිතය මෙන්ම ට්‍රම්ප්ගේ අවධානය යොමුවී ඇත්තේ ග්‍රීන්ලන්තයේ අතිශය දුර්ලභ ඛනිජ සම්පත් කෙරෙහිය. එහෙත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආරක්ෂාව මුල් කරමින් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම කාලීන අවශ්‍යතාවක් බවය. ජාත්‍යන්තර නීතියෙන් ඔබ්බට ගිය ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියට එරෙහිව ජාත්‍යන්තරයෙන් සැලකිය යුතු බලපෑම් සිදුවිය යුතු බවට මධ්‍යස්ථ දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කර ඇත්තේ එවැනි කරුණු සැලකිල්ලට ගනිමින් බව පැහැදිලිය.
(ෆවුස් මොහොමඩ් – දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්)
