
සිරදඬුවම් විඳිමින් සිටි CIA සංවිධානයේ හිටපු ප්‍රතිබුද්ධි නිලධාරියකු වන ඕල්ඩ්රිච් ඒම්ස් ජීවිතක්ෂයට පත්වූ බව අනාවරණය වෙයි.
රුසියාවට ඔත්තු සැපයීමේ චෝදනාව මත ඕල්ඩ්රිච් ඒම්ස් අත්අඩංගුවට ගෙන අමෙරිකාව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙළේය.
අමෙරිකානු ඉතිහාසයේ දරුණුතම දේශද්‍රෝහියා ලෙස ඉතිහාසගත වී සිටි 84 හැවිරිදි ඕල්ඩ්රිච් ඒම්ස් මේරිලන්ඩ්හි පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙලොවින් සමුගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.
එවකට සෝවියට් දේශයට සහ පසුව රුසියාවට රහස් තොරතුරු අලෙවි කිරීමේ වරද පිළිගැනීමෙන් පසු ඔහු එම සිරදඬුවමට ලක්වී ඇත්තේ 1994 අප්‍රේල් මාසයේදී බව වාර්තා වේ. වසර 1985දී සෝවියට් දේශයේ ඔත්තු බැලීම සඳහා CIA සංවිධානය යොදවනු ලැබූ ඒම්ස් පසුව සිය සංවිධානයේ සහ රජයේ අතිශය රහස් තොරතුරු සෝවියට් දේශයට අලෙවි කිරීම ආරම්භ කැර ඇති අතර, සෝවියට් දේශය බිඳවැටීමෙන් පසුව ද සිය කාර්යය අඛණ්ඩව සිදු කැර තිබේ. ඕල්ඩ්රිච් ඒම්ස් පිළිබඳ සැබෑ තොරතුරු CIA සංවිධානයට අනාවරණය වී ඇත්තේ සෝවියට් දේශයේ සිටින සිය ඔත්තුකරුවන් දිගින් දිගටම එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධව සිදු කළ පරික්ෂණවලින් පසුව බවද අනාවරණය වෙය.( දිනමිණ ඇසරෙන්)
