
බංග්ලාදේශයට නව වසර උදාවන්නේ දේශපාලන වශයෙන් හැලහැප්පීම් ගණනාවකින් පසු යළි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට යොමුවිමේ මහජන පිබිදීමක් සමඟය. පසුගිය වසරේ අගෝස්තුවේදී එරට අවාමි ලීග් රජයේ පාලනය තරුණ අරගලයකින් බිඳ වැටීමෙන් පසු රට තුළ ව්‍යාප්ත වූ ප්‍රචණ්ඩත්වය හමුවේ මාස ගණනාවක් පුරා මහජන කැලඹීම් සහ අවිනිශ්චිතභාවය පැතිරී ගිය පසුබිමකදීය. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව පත්වීමෙන් පසු මුහුණ දුන් විශාලතම අභියෝගය වූ අතර, එය ප්‍රමාද කිරිමෙන් ජනතාව අතර අන්තර්වාර ආණ්ඩු කෙරෙහි විරෝධතාවක් ද මතු වී තිබිණි.
අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත් වූ නොබෙල් සාම ත්‍යාගලාභියකු ද වන මහාචාර්ය මොහොමඩ් යූනුස් එම සංක්‍රාන්ති කාලසීමාව තුළ එරට ආරක්ෂාව සහතික කිරිම, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සහ විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරිම ඇතුළු ජනතාවගේ අපේක්ෂා සම්පූර්ණ කිරීමට ගනු ලැබූ පියවර ප්‍රමාණවත් නොවීය. අවාමි ලීග් රජය බිඳ දැමීමෙන් පසු අරාජිකත්වය කරා තල්ලු වූ බංග්ලාදේශය නැවත ස්ථාවරත්වයට පත් කිරීමේදී අන්තර්වාර රජය ප්‍රමාණවත් ලෙස පියවර නොගත් බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ ද අදහස වී තිබිණි.
පශ්චාත් හසීනා යුගය

බංග්ලාදේශයේ ජනතාව අපේක්ෂා කළ පශ්චාත් හසීනා යුගය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට අන්තර්වාර රජය අසමත්වීමට හේතු රැසකි. රටේ සුළුතර ජන කොටස්වල ආරක්ෂාව සහතික කිරීමට අන්තර්වාර රජය අසමත් වූ අතර, තරුණ අරගලයෙන් පසු එරට සියලු පළාත්වල හින්දු සහ කතෝලික සුළුතර ප්‍රජාව ඉලක්ක කරමින් ව්‍යාප්ත වූ ඉස්ලාම් ආගමික අන්තවාදී ප්‍රචණ්ඩත්වය හමුවේ සුළුතර ප්‍රජාව සතු ව්‍යාපාරික ස්ථාන, නිවාස සහ ආගමික ස්ථාන රැසක් විනාශ වී තිබිණි. ජාතිවාදය සහ ආගම්වාදය හිස ඔසවා තිබිණි. මනුෂ්‍ය ඝාතන, පහරදීම සහ හිරිහැර කිරීම ඇතුළු සුළුතර ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වය ඉහළ ගියේය. බංග්ලාදේශයේ ආගමික අන්තවාදය පෝෂණය කිරීමට හේතු වූ ඇතැම් විදේශීය ඉස්ලාම් අන්තවාදී බලවේග මැඬපැවැත්වීමට සහ පාලනය කිරීමට ද අන්තර්වාර රජය අසමත් විය. එබැවින් ජනතාවගේ එකම බලාපොරොත්තුව වූයේ කඩිනම් මැතිවරණයකි.
කෙසේ වෙතත් හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ධුරයෙන් ඉවත් කිරීම සහ විශේෂ අධිකරණයකින් මරණ දඬුවම නියම කිරීම ඇතුළු සිදුවීම් රැසකට පසු බංග්ලාදේශයේ මහමැතිවරණය ලබන පෙබරවාරියේදී පැවැත්වීමට අන්තර්වාර රජය පියවර ගෙන තිබේ. එය දකුණු ආසියාවේ භු දේශපාලනික අස්ථාවරය පිළිසකර කිරීමට හේතු වන වැදගත් සාධකයක් ලෙසත් සැලකිය හැකිය.
මහමැතිවරණය
එහෙත් ඉදිරි මහමැතිවරණය සාමය සහ ස්ථාවරභාවය සහතික කිරීමට ප්‍රමාණවත් අයුරින් නිදහස් සහ සාධාරණ ලෙස පැවත්වීම සම්බන්ධයෙන් ජනතාව අතර පැතිරී ගිය අවිනිශ්චිතභාවය සුළුකොට තැකිය නොහැකිය. අවස්ථාවාදී, අස්ථාවර සහ දේශීය විදේශීය බලපෑම් ඇතුළු තවත් කරුණු ගණනාවක් හේතුවෙන් මැතිවරණයේ විනිවිදභාවය අභියෝගයකට ලක් වී තිබේ. තරුණ අරගලයෙන් බිඳ වැටුණු ශෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂය අන්තර්වාර රජයෙන් තහනම් කිරීම ජනතාවගේ ප්‍රසාදයට හේතු වුවත්, හිටපු අගමැතිනියගේ කාලසීමාවේදී එරට ක්‍රියාකාරිත්වය තහනම් කළ ජමාටි ඉස්ලාම් ආගමික සංවිධානයට නැවත දේශපාලන ප්‍රවාහයට එක්වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව එරට ජනතාව අතර අඩුවැඩි වශයෙන් අප්‍රසාදය පළ වී තිබේ. එරට ප්‍රධානතම පක්ෂයක් වන හිටපු අගමැතිනිය කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය කෙරෙහි ජනතාවගේ වැඩි අවධානය යොමු වීමට එය හේතු වී තිබේ.
බල හුවමාරුව
පසුගිය දශක තුනකට වැඩි කාලයක් බංග්ලාදේශයේ බලය හුවමාරු වූයේ ජාතිකවාදී පක්ෂය සහ අවාමි ලීග් පක්ෂය අතර ය. මේ දීර්ඝ කාල පරිච්ඡේදයේදී ජාතිකවාදී පක්ෂයේ නායිකා කලීඩා සියා සහ අවාමි ලීග් පක්ෂයේ නායිකා ශෙයික් හසීනා අතර අගමැති ධුරය ද හුවමාරු විය. මේ වනවිට ඉන්දියාවේ සිටින මරණ දඬුවම නියමවූ 78 හැවිරිදි ශෙයික් හසීනා සහ දැඩි ලෙස රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන 80 හැවිරිදි කලීඩා සියා දෙදෙනාම සිය පරිපාලන ක්‍රියාවලියේදී බංග්ලාදේශයේ ප්‍රගමනයට හේතු වූ තීරණාත්මක භූමිකාවක් ඉටු කළද, එම කාලපරිච්ඡේදය අතරතුර දෙදෙනාටම මූල්‍ය වංචා සහ දේශපාලන බලය අවභාවිත කිරීම වැනි චෝදනා රැසක් එල්ල වී තිබිණි.
එබැවින් බංග්ලාදේශයේ මැතිවරණය පැවැත්වෙන්නේ වසර 34කට පසු නව අගමැතිවරයකු පත්වීමේ අවස්ථාවක් නිර්මාණය කරමිනි. ඒ සඳහා කලීඩා සියාගේ පුත්‍රයා වන 60 හැවිරිදි තරීක් රහ්මාන්ට වැඩි අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි බංග්ලාදේශයේ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. 2006 වසරේ අගභාගයේදී කලීඩා සියා අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසු පත්වූ අන්තර්වාර රජය යටතේ ගොනු කළ දූෂණ වංචා නඩුවකට පැටලී මාස 18ක කාලයක් බන්ධනාගාරගත වී සිටි තරීක් රහ්මාන් 2008 වසරේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූයේ සිය මවගේ ප්‍රතිවාදී දේශපාලන අපේක්ෂිකාව වූ ශෙයික් හසීනාගේ රජය යටතේ නැවත චෝදනා ගොනුවීමේ අවදානම හේතුවෙනි.
සිය මවගේ රෝගී තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු ඊයේ නැවත සිය රට පැමිණියේ වසර 18කට පසුවය. ඒ සඳහා ඔහුට අන්තර්වාර රජයේ අවසරය ද ලැබී තිබිණි. ඔහුගේ ආගමනය බංග්ලාදේශයේ නව පිබිදීමක් ඇති කිරීමට හේතුවනු ඇතැයි පසුගිය දින කිහිපය තුළ එරට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. තරික් රහ්මාන් යළි බංග්ලාදේශයට පැමිණියේ මවගේ සුවදුක් විමසීමට පමණක්ම නොවීය. එය ජාතිකවාදී පක්ෂයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරි මැතිවරණයේදී තරග කිරීමේ අරමුණින් සිදුවූවකි.
තරික්ගේ පැමිණීම
දශක තුනකට අධික කාලයකට පසු බංග්ලාදේශය නව නායකත්වයක් සොයමින් සිටින පසුබිමක තරික්ගේ පැමිණීම එරට ජනතාව අතර පමණක් නොවා ජාත්‍යන්තරයේ ද වැඩි අවධානයට යොමු වී තිබේ. මෙවර මැතිවරණය තරුණ අරගලයකින් රටේ සාම්ප්‍රදායික දේශපාලන ව්‍යූහය වෙනස් කිරීමෙන් පසු එරට මැතිවරණ පිබිදීමක් සිදු වූ අවස්ථාවකි. රට පුරා තරුණ දේශපාලන නායකයන් බිහිවෙමින් තිබෙන යුගයකි. එබැවින් තරික්ගේ මැතිවරණ සටනේදී තරුණ දේශපාලකයන් වෙතින් සැලකිය යුතු අභියෝගයක් එල්ල වනු ඇතැයි ද බංග්ලාදේශයේ දේශපාලන විචාරකයෝ කියති. කලීඩාගේ පුත්‍රයාට රටේ මීළඟ අගමැතිවරයා වීමේ සිහිනය අභියෝගයට ලක්වී ඇත්තේ ශෙයික් හසීනා මෙන්ම කලීඩා සියා ද බංග්ලාදේශයේ ජනතාව ප්‍රතික්ෂේප කළ චරිත බැවිනි. එසේ වුවත් අරගලයෙන් පසු මෙතෙක් එරට තරුණ දේශපාලනඥයකුට රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පසුබිමක් නිර්මාණය වී නැති බැවින් මේ මොහොතේ ජනප්‍රියතම චරිතය බවට පත්වීමට තරික් රහ්මාන්ට වැඩි අවස්ථාවක් උදා වී තිබේ. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ වැඩ බලන නායකයා ද වන තරික් රහ්මාන්ගේ ආගමනය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ එබැවිනි. සති කිහිපයක් පුරා වරින් වර නිවේදන සහ මාධ්‍ය හමු පවත්වමින් ජාතිකවාදී පක්ෂයේ නායකයන් සිය අනාගත නායකයාගේ ආගමනයට වැඩි ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබිණි.
ආරක්ෂාව
ඩකා අගනුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට පක්ෂයේ නායකයන් කටයුතු යොදා තිබිණි. ඒ සඳහා අන්තර්වාර රජය ද සැලකිය යුතු පියවර රැසක් ගෙන තිබිණි. තරීක් රහ්මාන්ගේ පැමිණීම වෙනුවෙන් ඩකා අගනුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කර තිබූ අතර, ගුවන්තොටුපොළට ඇතුළුවීම ගුවන් මගීන්ට පමණක් සීමා කර තිබිණි. ගුවන්තොටුපොළ අවට මාර්ගයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ බවත් වාර්තා විය. කලීඩා සියාගේ සහ තරික් රහ්මාන් දෙදෙනාගෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ ෂම්සුල් ඉස්ලාම් නමැති එරට යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් ජෙනරාල්වරයෙකි. අන්තර්වාර රජයේ ආරක්ෂක අංශ ප්‍රධානින් සමග සාකච්ඡා කිරීමෙන් පසු තරික් රහ්මාන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක පද්ධතියන් නිර්මාණය කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවෙයි. මැතිවරණය කටයුතු අවසන් වනතුරු තරික්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට අන්තර්වාර රජයේ ද අවධානය යොමු වී තිබේ. එරට ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් තරුණයන් දෙදෙනකු පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධව එරට රජයේ වැඩි අවධානයක් යොමුවී තිබේ.
ඩකා අගනුවර බිජෝයිනගර් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර එරට ශිෂ්‍ය අරගලයේ නායකයකු ලෙස සැලකෙන 32 හැවිරිදි ෂරිෆ් ඔස්මාන් හාදි නාඳුනන තුවක්කුකරුවකු අතින් ඝාතනයට ලක්වූ අතර, ඊට දින දෙකකට පසු ශිෂ්‍ය අරගලයේදී නායකත්වය ගත් 42 හැවිරිදි මොහොමඩ් මොටාලිබ් සික්දර් නමැති පුද්ගලයකු වෙඩි ප්‍රහාරයකට ගොදුරු විය. ඔහු තරුණ කණ්ඩායම් විසින් එක්ව පිහිටුවා ගත් ජාතික පුරවැසි පක්ෂයේ ද නායකයෙකි. මේ තත්ත්වය මත මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබේ.
එය කෙසේ වෙතත් මහමැතිවරණයක් පැවැත්වීමට අන්තර්වාර රජය දින තීන්දු කිරීමෙන් පසු එරට ජනතාව අතර ඇති වූ පිබිදීම සහ උද්‍යෝගය බංග්ලාදේශය නව දේශපාලන මුහුණුවරකට යොමු වීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇති බව පෙනේ. විදේශගතවී ජීවත්වන බංග්ලාදේශ ඩයස්පෝරාව ද පළමුවරට ඡන්දය ප්‍රකාශ කිරිමේ අපේක්ෂාවෙන් පසුවීමත්, තරුණ ඡන්දදායකයන්ගේ ප්‍රමාණයත් ඉහළ යෑමත් හේතුවෙන් එය ඓතිහාසික මැතිවරණයක් වීමට ද ඉඩ තිබේ.
( ෆවුස් මොහොමඩ්, දිනමිණට , දෙසැ. 26 වැනිදා ලියන ලද ලිපියක් ඇසුරෙන් )
