Impartial news reporting for a stronger democratic society
මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව මුදා හැර ඇති මර්දනය පරාජය කරන්න පෙළ ගැසෙමු – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොළ පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මඟින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත්, මාධ්‍ය නිදහසත් මර්දනය කිරීමටත් වර්තමාන ආණ්ඩුව ගන්නා උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළීකුලෙන් යුතුව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද  සම්පත් සහ  ලේකම් රංග බණ්ඩාරනායක  මහත්වරුන්ගේ අත්සනින්  නිකුත් කැර ඇති  එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහාන් වෙයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ හා ඒ ආශ්‍රිත ආයතනවල පවතින වංචා සහ දූෂණ ගණනාවක් පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලකට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමකට 2025-12-26 වනි දින පෙ:ව: 11.00 ට ගම්පොළ පොලිසියට පැමිණෙ ලෙස දැනුම් දී ඇත. එමෙන්ම හිරු මාධ්‍ය ආයතනය මඟින් විකාශය කළ ගංජා වැටලීමකට අදාළ ප්‍රවෘත්තියකදී, ගංජා වැටලු පොලිස් නිලධාරියකුට එල්ල වූ ප්‍රහාරයක් හා ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයකට අදාළ ගංජා හේනේ අයිතියට ඇති සබඳතාවය පිළිබඳව අනාවරණය කොට ඇත. එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් ලෙස අර්ථ ගන්වමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පොලිසිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කොට ඇත.

ඉහත කාරණා දෙකෙහිදීම පොලිසිය අදාළ මාධ්‍යවේදියාගේ හා මාධ්‍ය ආයතනයේ නිදහස් මාධ්‍ය කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ අනීතික මර්දනයක් සිදුකිරීමේ අභිලාෂයෙන් බව පෙනේ. නිවැරදි නොවන ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙතින් සමාජගත වී ඇත්නම් ඊට ක්‍රියාත්මක කළ හැකි පිළිගත් ක්‍රමවේද හා නෛතික තත්ත්වයන් පවතී. එසේ තිබියදී, පොලිසිය හරහා ක්‍රියාවේ යොදවා  ඇත්තේ ආණ්ඩුවට හීලෑ කොට ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට ගනිමින් දියත් කොට ඇති මර්දනයයි. මාස 15 ක් වු  ජාතික ජන බලවේග ආණ්ඩුවේ ශේෂපත්‍රය තුළ, මාධ්‍ය නිදහස සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය හකුළුවාලමින් මර්දනය කිරීම සඳහා ගෙන ඇති අපමණ ක්‍රියාමාර්ග තුළින් පෙන්නුම් කරමින් ඇත්තේ මාධ්‍ය නිදහසේ බැටළු හම පොරවා ගෙන බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව නමැති වෘකයාගේ ස්වභාවයයි.  මෙම තත්ත්වය පිළිබඳව  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි කණස්සල්ල පළ කරයි.

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජී උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ සැබෑ මාධ්‍ය නිදහසක් හා මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිමක් ඇති කරන ලෙස අපි  ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම විවිධ මර්ධන නීති හා අතපෙවීම් හාරහා ආණ්ඩුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල කරන බලපෑමට එරෙහිව  පෙළගැසෙන මෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අගයන සියල්ලන්ගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නෙමු යනු වෙන් මෙම නිවේදනයේ  වැඩි  දුරටත් සඳහාන් වෙයි.