
ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයට එරෙහිව පසුගිය වසරේ පැවති ශිෂ්ය විරෝධතාවයට නායකත්වය දුන් ෂරීෆ් ඔස්මාන් හාදිගේ ඝාතනය දැඩි සේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් නිවේදනයක් නිකුත් කරමින් කියයි
එම නිවේදනයට අනුව ශිෂ්ය අරගල නායකයාගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස මහලේකම් ගුටාරෙස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් ද කැර තිබේ. ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූලව කඩිනම්, අපක්ෂපාති, පරිපූර්ණ සහ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා එරට රජයට දැනුම් දී ඇතැයිද සඳහින් වේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මැතිවරණය සඳහා කටයුතු සුදානම් කරමින් සිටින බැවින් සංයමයකින් යුතුව කටයුතු කරන ලෙස මහලේකම්වරයා ඉල්ලා සිටි බව ඔහුගේ ප්රකාශක ස්ටීවන් ඩුජාරික් නිව්යෝර්ක් නුවර මාධ්ය හමුවකට එක්වෙමින් ප්රකාශ කැර ඇත.
.ප්රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්ය පසුබිම නිර්මාණය කරන ලෙසත්, ජනතාවගේ අයිතිවාසිකම් අඩපණ කරන පළිගැනීම් සහ පිල් බෙදීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා බංග්ලාදේශයේ බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Cyber World Press –Dhaka

