Impartial news reporting for a stronger democratic society
දිට්වා ඛේදවාචකය සහ අපේ මනස

  දිට්වා වැනි බලපෑම්වලට අපි මුහුණ දෙන්නේ කොහොමද?

මිනිසාගේ මැදිහත්වීමකින් තොරව ස්වභාවිකව ඇතිවන පාරිසරික ක්‍රියාවලීන් නිසා මිනිසාටත්, සතුන්ටත්, දේපොළවලටත් හානි සිදුවීම ස්වභාවික ආපදාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. 2004 සුනාමි ව්‍යසනයෙන් පස්සේ ලංකාවට විශාල අයහපත් බලපෑමක් ඇති කළ ස්වභාවික ආපදා තත්ත්වයක් 2025 නොවැම්බර් මස 27, 28, 29, 30 දිනවල සඳහා වුණා. දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මිය ගිය පිරිස දැනට ගණනය කර ඇති පරිදි 643ක් වන අතර, අතුරුදන් වූ පිරිස 183ක් සේම අවතැන් වූවන් විශාල ප්‍රමාණයක් සිටින බව ප්‍රවෘත්ති  මඟින් හෙළි කර තිබෙනවා.

ඔක්තෝබර් 10 වැනිදා ට යෙදුණු ලෝක මානසික සෞඛ්‍ය දිනයෙන් පසු දෙමසක් ගෙවී යද්දී අපි හැමෝගෙම මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම පිළිබඳව විශාල ගැටලුවක් උද්ගත වී තිබෙනවා. පොදුවේ රටක් විදිහට මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයකින් පසුව අපට ඇතිවන මානසික පීඩන තත්ත්වයන් දරා ගැනීම බොහෝ අසීරු කාර්යයක්. විශේෂයෙන් දිට්වා ව්‍යසනයෙන් සිදු වූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයන්ගෙන් පීඩා ලැබූවන්, තම සමීපතමයන් අහිමි වූවන්, කුඩා දරුවන්, තම නිවෙස් සහ අනෙකුත් දේපොළ විනාශ වූවන් ශාරීරිකව මෙන් ම මානසිකවත් දරුණු කම්පනයන් සහ කඩාවැටීම්වලට ලක් වී සිටිනවා. මේ නිසා ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.

කම්පනයට පත්වූවන් දක්වන ප්‍රතිචාර මොනවාද?

නොසිතන අවස්ථාවක මුහුණ දීමට සිදුවන මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් උඩ සාමාන්‍ය ජීවන රටාවෙන් ඉවත් වීම සහ හුරු පුරුදු ජීවන පරිසරයෙන් ඈත් වීමට සිදුවීම නිසා ක්ෂණික ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙනවා. ඇතැම් විට එය පුද්ගලයාගේ මතුපිට ස්වරූපයෙන් නොපෙනෙන්නට ද පුළුවන්. ගංවතුරට හෝ නායයෑමට මුහුණ දී එයින් බේරී සිටීමට හැකි වුණත්, ඒ අවස්ථාවේ ඔහුට හෝ ඇයට වුණ කම්පනය තවත් කාලයක් මනසේ රැඳී තිබිය හැකියි. මෙවැනි අවස්ථාවල දී ඔවුන්, සිහිකල්පනාවකින් තොරව ක්‍රියා කිරීමට ඉඩ තිබෙනවා. සිදු වූ සියල්ල සිහිනයක් මෙන් ඔවුන්ට දැනෙන්නට පුළුවන්. නිතරම බියෙන් සිටින බවක් පෙන්වන්නට පුළුවන්. පෙර සිදුවීම් නැවත නැවත මතක් වීම සිදු වෙන්නට පුළුවන්. වෙනත් අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන්නට පුළුවන්.

මෙවැනි අවස්ථාවල දී කිසිවිටෙක මොවුන් හුදෙකලා වීම සිදු නොවිය යුතුයි. ඊට හේතුව එම අවස්ථාවේ දී පවතින මානසික තත්ත්වය යටතේ ඔවුනට නිවැරදිව සිතා බලා තීරණ ගැනීමට හැකියාවක් හෝ කල්පනාවක් නොමැති වීමයි. පසුගිය දෙසැම්බර් 2 වැනි දා ජනමාධ්‍ය මඟින් හෙළි කළ පරිදි මවක් තම දරුවන් දෙදෙනා සමඟ මල්වතු ඔයට පැනීමට තීරණය කිරීමත් මෙවන් අවස්ථාවක් විය හැකියි. අධිකව දැනෙන දුක, බලාපොරොත්තු කඩවීම්, හිස් බව, හුදෙකලාව, අසරණ බව, කලකිරීම, කාංසාව වැනි චිත්තවේගයන්ගෙන් ඇතිවන අධික මානසික පීඩාවන් මෙවැනි ක්ෂණික ප්‍රතික්‍රියාවලට බලපානවා.

ඒ වගේම හැමදෙනෙක්ම මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක දී මුහුණ දෙන එම පොදු චිත්තවේගයන්ට අමතරව තවත් කාරණා තියෙන්නට පුළුවන්. පෙර සිටම විවිධ මානසික ව්‍යාකූලතාවන්ගෙන් පෙළුණු හෝ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් නම්, වෙනත් රෝගාබාධයන්ට ඖෂධ ලබාගනිමින් සිටි පුද්ගලයෙක් නම්, කාලයක් ක්‍රමානුකූලව ලබාගත් ඖෂධ මෙම ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් එක්වරම දින කිහිපයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ද මෙවැනි ක්ෂණික ව්‍යාකූල තත්ත්වයන් කළමනාකරණය කැර ගැනීමට අපහසු විය හැකියි.

තමා පිළිබඳ වරදකාරී හැඟීම් ඇතිවන්නේ ඇයි?

දිගින් දිගටම මෙම ඛේදජනක සිදුවීම් පිළිබඳවම කල්පනා කිරීම නිසා ඇතැම් විට තම සමීපතමයන්ගේ වියෝවීම්වලට  “තමා වැරදිකරු” යැයි හැඟීමක් ඔවුන් තුළ ඇතිවෙන්නට පුළුවන්. මීට වඩා ඔවුන් ගැන අවධානයෙන් සිටියේ නම් අනතුරින් ඔවුන් බේරා ගැනීමට තිබුණා යැයි සිතෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයන් මත ඔවුන් තුළ , ප්‍රචණ්ඩකාරී හැසිරීම් උද්ගත වෙන්නට පුළුවන්, නුරුස්සන සුළු ස්වභාවයන් පෙන්වන්නට පුළුවන්. තමාටම හානි කර ගැනීමට පෙළඹෙන්නට පුළුවන්, ආහාර අරුචිය, නින්ද නොයෑම, අධික කෝපය ආදී චර්යාමය ලක්ෂණ පෙන්වන්නට පුළුවන්.

කුඩා දරුවන්ට මෙම කම්පන තත්ත්වයන් බලපාන්නේ කෙසේද?.

මෙම වාතාවරණය තුළ පිඩාවට පත් වූ කුඩා දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. (අවුරුදු 10 හෝ ඊට අඩු දරුවන් විශේෂයි) බියවී සිටින බවක් පෙන්වීම, සිහිනයෙන් බිය වීම, කාත් සමඟවත් කතා බහ නොකර සිටීම, නිතරම හැඬීම, වෙනත් අසාමාන්‍ය චර්යා පෙන්නුම් කිරීම වැනි හැසිරීම් ඔවුන් තුළින් දිස් වෙන්නට පුළුවන්.

ඒ වගේම අවතැන් කඳවුරුවල බොහෝ පිරිසක් නිතර රැඳීම සහ එම දරුවන්ගේ දෙමව්පියන් සිටියත් ඔවුන් ද මේ අවස්ථාව වන විට විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින  නිසා දරුවන් පිළිබඳව ඔවුන්ගේ ද අවධානය ගිලිහෙන්නට පුළුවන්. කුඩා දරුවන්ට  තමන් මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්ත්වයන් නිවැරදිව තෙරුම් ගැනීමට හැකියාවක් නෑ. ඔවුන්ගේ චිත්තවේගයන් ප්‍රකාශ කිරීමට තරම් අවබෝධයක් ඔවුනට නෑ. මේ හේතුව නිසා ම එම පීඩන තත්ත්වයන් දරුවන්ට දැඩි බලපෑම් ඇති කරන්න පුළුවන්. කුඩා කාලයේ දී ඔවුන් මුහුණ දෙන අධික කම්පන තත්ත්වයන් නිසා හටගන්නා මානසික ව්‍යාකූලතාවන් අනාගතයේදීත් විවිධ පෞරුෂ ගැටලු මඟින් පෙන්නුම් කිරීමට ඉඩ ඇති නිසා විශේෂ අවධානයක් දරුවන් වෙත යොමු කළ යුතුයි.

ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද?

ඇතැම්විට මේ වන විටත් ඔබේ සමීපතමයින් ඔබට අහිමී වී තිබෙන්නට පුළුවන්, ඔබේ දේරපොළ සියල්ල විනාශ වී තිබෙන්නට පුළුවන්. ඒත් ඔබේ මානසික ශක්තියට පුළුවන් ඔබව නැවත ගොඩනඟන්න. අවශ්‍ය වෙන්නේ ඔබට දැනෙන පීඩනය නිසියාකාරව ක්‍රමයෙන් අවම කර ගැනීම යි. ඒ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.

ඔබට දැනෙන පීඩන තත්ත්වයන් යටපත් කරගෙන සිටීම ඔබට හානිකර යි. ඒ නිසා පුළුවන් තරම් හැඟීම් පිට කරන්න උත්සාහ කරන්න. (කොළයක ඔබේ හැඟීම් ලියන්න, අවශ්‍ය නම් අඬන්න, ඔබට දැනෙන දේවල් කාට හරි කියන්න), ඉහිල් වෙන්න (ගැඹුරින් හුස්ම ගන්න, මඳ වේලාවක් රඳවා තබා ගෙන නැවත හුස්ම පිට කරන්න. ඒ පිළිබඳව විතරක් අවධානය යොමු කරන්න), තමන් අදහන ආගමට හෝ දර්ශනයට අනුව ධාර්මික ප්‍රතිපත්තිවල යෙදෙන්න (සුළු වේලාවක් හෝ භාවනා කරන්න).

කණ්ඩායම් සමඟ එකතු වෙන්න .(තමන් වගේම මේ තත්ත්වයට මුහුණ දුන් අයට උදව් කරන කණ්ඩායම් සමඟ යහපත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න) ඒ තුළින් ඔබට යම් සහනදායී සිතුවිල්ලක් දැනෙනවා, ශාරීරිකව සහ මානසිකව කෙටි විවේකයක් ලබාගන්න. (අවිවේකී බව ශරීරය හා මනස විඩාවට පත් කරනවා) හොඳින් ජලය පානය කරන්න, හොඳින් ආහාර ලබා ගන්න (එයින් ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා) හොඳ නින්දක් ලබා ගන්න. (නින්ද යෑමේ ගැටලු පවතිනවා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න) අතීතය ගැන හෝ අනාගතය ගැන අනවශ්‍ය ලෙස කල්පනා නොකර මේ මොහොතේ කරන කාර්යයට අවධානය දෙන්න. විවිධ මාධ්‍යයන් ඔස්සේ පෙන්වන ඛේදජනක සිදුවීම් නැවත නැවත නැරඹීමෙන් වළකින්න. (අවශ්‍ය තොරතුරු එක් විශ්වාසදායී මාර්ගයක් හරහා ලබාගන්න උත්සාහ කරන්න) ඔබේ ශක්තිය පිළිබඳව ආත්ම විශ්වාසය තබා ගන්න.

ආතතියට පත් අයෙකු වෙනුවෙන් අපට කළ හැකි දේවල් මොනවාද?

ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට සහ ප්‍රමාණවත් විවේකයක් ලැබීමට සලස්වන්න. ඔවුන් හුදෙකලා නොකරන්න. (ඔවුන් තනි වී නොමැති බව දැනෙන්නට හරින්න) ඔවුන්ට ඔබ ළඟ ආරක්ෂාවක් දැනෙන සහ විශ්වාසයක් දැනෙන ආකාරයේ පුද්ගලයෙකු වන්න. ඔවුන්ගේ තත්ත්වයට සහකම්පනයෙන් යුතුව ඇහුම්කන් දෙන්න. (කතාවට බාධා කරන්න එපා. ඔවුන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව එකම දේ නැවත නැවත කියවන්නේ නම් ඊට ද බාධා නොකර ඇහුම්කන් දෙමින් ඔවුන්ව නිරීක්ෂණය කරන්න) ඔවුන්ගේ හැඟීම් පිටතට මුදා හැරීමට පහසු පරිසරයක් ගොඩනඟා දෙන්න. ඔවුන්ව ලේබල් කිරීමට, විවේචනයට හෝ විනිශ්චය කිරීමට නොයන්න. (ඔවුන්ට සුව වීමට අවශ්‍ය තරම් කාලය දෙන්න). නිතර ධනාත්මක වටපිටාවක් ඔවුන් වටා ගොඩනඟා යහපත් මානව සම්බන්ධතා පවත්වා ගන්න උදව් කරන්න. ඔවුන් අසරණ වී නොමැති බව දැනෙන්නට සලස්වා ජීවිතය දෙස බලන සෘණාත්මක දෘෂ්ටිකෝණය වෙනස් කරවන්න. ඔවුන් සමඟ එකතු වී මිහිරි ගීතයකට සවන් දෙන්න. (සෘණාත්මක අර්ථයන් සහිත ගීත තෝරා නොගන්න වගබලාගන්න). යම් යම් ක්‍රියාකාරම්වලට ඔවුන්ගේ ද සහාය ලබා ගන්න. (ඔවුන්ගේ සහාය ඔබට අවශ්‍ය බවත්, වටිනා බවත් අඟවන්න, ස්තූති කරන්න) කුඩා දරුවන් සිටී නම් ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයට තත්ත්වයන් තේරුම් කර දෙන්න. ඔවුන්ගේ මනස නිරවුල් කළ හැකි ක්‍රියාකාරකම් වෙත ඔවුන් යොමු කරවන්න. ඔවුන් ආරක්ෂිත බව දැනෙන්න හරින්න.බොහෝවිට මෙවැනි අධික කම්පන තත්ත්වයන්ට මුහුණ දීමේ දී ඔවුන් පෙන්වූ හැසිරීම් පිළිබඳ මතකයන්, ඔවුන් නැවත යථා තත්ත්වයට පත්වීමේ දී ඔවුන්ගේ මතකයෙන් ගිලිහී තිබෙන්නට ද පුළුවන්. එක් එක් පුද්ගලයාගේ දරාගැනීමේ මට්ටම් අනුව ඔවුන් මෙවැනි අවස්ථාවක දී ප්‍රතිචාර දක්වන විධි වෙනස් වන නිසා ම සෑම කෙනෙක් වෙත ම විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා.

ප්‍රතිකාර ගැනීම අවශ්‍යද?

තම හැඟීම් තමාට පාලනය කරගත නොහැකි මට්ටමක පවතිනවා නම්, ජීවිත හානි කර ගැනීමේ සිතුවිලි පවතිනවා නම්, තමා මුහුණ දුන් භයානක සිද්ධීන් නැවත නැවත මැවි මැවී පෙනෙනවා නම්, නින්ද යෑම හෝ සිහින පෙනීම පිළිබඳව ගැටලු තිබෙනවා නම්, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්නම්, ප්‍රතිකාර අවශ්‍ය බව දැනෙනවා නම්, වහාම සුදුසුකම්ලත් මනෝ උපදේශකවරයෙකු මුණගැසීම අත්‍යවශ්‍ය වෙනවා.

ක්ෂණිකව ඇතිවන අධික කම්පනයන් සහ දීර්ඝ කාලීනව සිතෙහි පවත්නා සෘණාත්මක සිතුවිලි නිසා ඕනෑම කෙනෙක් විවිධ මානසික අස්ථාවරත්වයන්ට, රෝගාබාධයන්ට ගොදුරු වීමට පුළුවන්. අපේ රැකියාව හෝ තරාතිරම ඊට බලපාන්නේ නෑ. ඒ නිසා මෙවැනි අවස්ථාවක උපදේශනයට හෝ ප්‍රතිකාර සඳහා යොමු වීමට පසුබට වෙන්න එපා. අපිට නැවත සාමාන්‍ය ජීවිතයට එන්න, සුදුසුකම්ලත් උපදේශකවරයෙකු හෝ වෛද්‍යවරයෙකුගෙන් උපකාරයක් ගැනීමයි අවශ්‍ය වෙන්නේ.

මනුෂ්‍යයන් වන අපි මෙන්ම මේ ව්‍යසනයෙන් පීඩාවට පත් වූ සතුන් දහස් ගණනක් සිටිනවා. ඔවුන්ටත් දුක, වේදනාව, ආදරය, සතුට වැනි හැඟීම් දැනෙනවා. ඒ නිසා ඔබ වටා සිටින සියලු ආකාරයේ සත්ත්වයන් පිළිබඳව සානුකම්පිත වන්න. විමසිලිමත් වන්න. අපි හැමෝගෙම ශක්තියෙන් අපිට නැවත ගොඩනැඟෙන්නට පුළුවන්.

දිලිනි බටුවිට

Diploma in Counseling (University of Kelaniya).

BA (special) in Mass Media,

University of Colombo, Sri Palee Campus.

Follow by Email
LinkedIn
Share
WhatsApp