Impartial news reporting for a stronger democratic society
වසර 133ක් ගෙවී යයි …..! “බොකාරා” හොංකොං ක්‍රිකට් පිල සමඟ මුහුදු බත් වෙයි

දකුණු, නැඟෙ­න­හිර සහ අග්නි­දිග ආසි­යා­වට එකම කාල­සී­මා­වක කඩා­වැ­දුණු දිට්වා, සෙන්යාර් සහ කෝටෝ සුළි කුණාටු ත්‍රිත්වය සිදු කළේ මහා ව්‍යස­න­යකි. මේ නිව­ර්තන සුළි කුණාටු ඉති­හා­සය පුරා වරින් වර නැඟෙ­න­හිර සහ අග්නි­දිග ආසි­යාවේ ජන ජීවිත උඩු­ය­ටි­කුරු කළ අවස්ථා එම­ටය. සුළි කුණාටු ඉති­හා­සය හාරා ඇවි­ස්සී­මේදී ලෝක ක්‍රිකට් ඉති­හා­ස­යේද ලියවී ඇති විනා­ශ­කාරි සුළි කුණා­ටු­වක් මීට වසර 133කට පෙර තායි­වන අර්ධ­ද්වී­පයේ සිදු වූ බවට තොර­තුරු සොයා­ගත හැකිය.

ක්‍රිකට් කණ්ඩා­ය­මක් සුළි කුණා­ටු­ව­කට ගොදුරු වූ පළමු හා එකම අව­ස්ථාව ලෙස එය ක්‍රිකට් ඉති­හා­ස­යට එක් වී ඇත. කුණා­ටු­වට හසු වූයේ චීනයේ ෂැංහායි ක්‍රිකට් කණ්ඩා­යම සමඟ වාර්ෂික දෙදින තර­ග­යට සහ­භාගි වීමෙන් පසු නැවත හොංකොං දේශය බලා නැව්ගත වූ එරට ජාතික ක්‍රිකට් කණ්ඩා­ය­මය. එදා තර­ග­යේදී පළ­මුව පන්දු­වට පහර දුන් ෂැංහායි පිල ලකුණු 112කට දවා­ලී­මට හොංකොං පන්දු යව­න්නන් සමත් වුවද, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ හොංකොං පිලට රැස් කිරී­මට හැකි වූයේ ලකුණු 78ක් පමණි. අන­තු­රුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ෂැංහායි ක්‍රීඩ­ක­යන් ලකුණු 202ක් රැස් කළ අතර, ජය­ග්‍ර­හ­ණය සඳහා හොංකොං පිලට හිමි වූයේ ලකුණු 236ක දැවැන්ත ඉල­ක්ක­යකි. එහෙත් ෂැංහායි පිලේ පන්දු යව­න්නන් හමුවේ අස­රණ වූ හොංකොං පිති­ක­රුවෝ ලකුණු 79කට දැවී ගියහ. හොංකොං පිලේ පළමු ඉනි­මෙන් කඩුලු 5ක් උදු­රා­ගත් ඒ.ජී.එච්. කර්තර්ස් දෙවැනි ඉනි­මේදී තවත් කඩුලු 8ක්ම බිඳ­දැ­මු­වේය. ෂැංහායි පිල හමුවේ ලකුණු 157ක පරා­ජ­යක් උරුම කර­ගත් හොංකොං ක්‍රීඩ­ක­යන් පරා­ජයේ වේද­නා­වත් තුරුලු කර­ග­නි­මින් නෞකා­වට ගොඩ වූයේ සිය ඉර­ණම සොයා ගිය ගම­නට බව කිසි­වකු දැන සිටියේ නැත.

එදා හරි­ය­ටම 1892 ඔක්තෝ­බර් 8 වැනිදා හොංකොං ක්‍රිකට් කණ්ඩා­යම ඇතුළු මඟීන් 148 දෙනකු සමඟ ෂැංහායි වරා­යෙන් මහ­මු­හු­දට සේන්දු වූ බොකාරා වාෂ්ප නෞකාව නිරු­ප­ද්‍රි­තව පළමු දිනය ගෙවා­දැමූ අතර, මහ­මු­හුද සන්සුන් වූයේ ඊළඟ දිනය වන තුරු පමණි. ඔක්තෝ­බර 9 වැනිදා බොකොරා නෞකාව හඹා ගිය සුළි කුණා­ටුව ටොන් 2,900ක් බරැති මේ යාත්‍රාව දැවැන්ත ගල්ප­ර­යක් දක්වා වේග­යෙන් ඇද­ගෙන ගියේ අනු­කම්පා විර­හි­ත­වය. නෞකාව ගල්ප­රයේ ගැටී බිඳී­යෑ­ම­ටත්, අන­තු­රුව මුහු­දු­බත් වීම­ටත් ගත වූයේ මිනිත්තු 2ක් පමණි. මේ අන­පේ­ක්ෂිත සිදු­වී­මෙන් නෞකාවේ සිටි හොකොං ක්‍රිකට් පිලේ ක්‍රීඩ­ක­යන් 13 දෙනා­ගෙන් 11 දෙන­කු­ටම දිවි අහිමි වූ අතර, තවත් මඟීහු 114 දෙනෙක්ද මහ­මු­හු­දට බිලි වූහ.

ඊට පසු දින චීන ජාතික ධීවර පිරි­සක් විසින් මුදා­ගනු ලැබූ තුවා­ල­ක­රු­වන් පසුව රෝහ­ල්ගත කෙරුණු අතර, නැවත හොංකොං දේශ­යට සේන්දු වූ දිවි බේරා­ගත් ක්‍රීඩ­ක­යන් දෙදෙනා වූයේ වෛද්‍ය ජේම්ස් ලෝසන් සහ යුද හමුදා ලුති­නන් එෆ්.ඩි.මාකාම් පමණි. කණ්ඩා­යමේ නාය­ක­ත්වය දැරූ එව­කට එංග­ල­න්තයේ සරේ ප්‍රාන්ත පිලේ හිටපු ප්‍රබල ක්‍රීඩ­ක­යකු වූ ජෝන් ඩන් ද මේ අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත් විය.

සුළි කුණාටු ඛේද­වා­ච­කය නිසා බිඳ­වැ­ටුණු හොංකොං දේශයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ­නැ­ඟී­මට වසර 6ක් ගත වූ බව කියවේ. සුළි කුණාටු ඛේද­වා­ච­ක­යෙන් මිය­ගිය ක්‍රීඩ­ක­යන්ට ගෞරව කිරී­මට හොංකොං දේශයේ ස්මාර­ක­යක්ද පසුව ඉදි වූ අතර, අන­තු­රුව නැවත ක්‍රීඩාව ආරම්භ කිරී­මෙන් පසු හොංකොං සහ චීනය අතර වාර්ෂික ක්‍රිකට් තර­ගය නම් කරනු ලැබුවේ ‘බොකාරා බෙල් අනු­ස්ම­රණ කුස­ලා­නය’ යනු­වෙනි.

(සිළුමිණ ඇසුරෙන්)