
ආසියාතික කලාපයේ පසුගියදා හමා ගිය සුළි කුණාටුවලින් වැඩිම හානිය සිදු වූයේ ඉන්දුනීසියාවටය. අචේ, උතුරු සුමාත්‍රා සහ බටහිර සුමාත්‍රා හරහා පැතිර ගිය ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 964 දෙනකු මියගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පෙරේදා ප්‍රකාශ කළේය. උතුරු සුමාත්‍රා ප්‍රාන්තයේ අතුරුදන් වූවන් 138 දෙනකුගේ මළසිරුර තවම හමුවී නැත. බටහිර සුමාත්‍රා ප්‍රාන්තයේ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 95ක් බවත්, අචේ ප්‍රාන්තයේ පුද්ගලයන් 31 දෙනකු තවමත් අතුරුදන් බවත් ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය තහවුරු කර තිබේ. ගංවතුර ව්‍යසනය සිදු වී සති දෙකක් ගතවූවත් එරට බලධාරීන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, එම මෙහෙයුම් අවසන් කිරීමේ නිවේදනයක් එරට රජයෙන් මෙතෙක් නිකුත් වී නැත.
ගංවතුර ඛේදවාචකයෙන් පසු සුමාත්‍රා දූපතේ ජනජීවිතය යළි ගොඩනැඟීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඒ අතරතුරදීය. ගංවතුර සහ නායයෑම් සිදු වූ දිනවල තාවකාලික කඳවුරුවල රැඳී සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව නැවත පදිංචි කිරිමට හැකි අයුරින් බොහෝ ප්‍රදේශවලට ප්‍රවේශ විය හැකි මාර්ග යථා තත්ත්වයට පත් කර තිබේ. ඒ සමඟම අවතැන් වූවන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පසුගිය සඳුදා වන විට දසලක්ෂයකට අධික පිරිසක් අවතැන්වී සිටියද, ඊයේ වන විට එම සංඛ්‍යාව ලක්ෂ 9 දක්වා පහළ වැටී ඇති බවට ගණන් බලා තිබේ. ගංවතුරෙන් වැඩිම හානිය සිදුවූ අචේ ප්‍රාන්තයේ ලක්ෂ අටකට ආසන්න ජනතාව අවතැන් වී සිටි අතර, එම සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ.
හානි
සියලු ප්‍රාන්තවල විනාශ වූ පාලම් සහ මහාමාර්ග අලුත්වැඩියා කටයුතු ද පසුගිය සතියේදීම ආරම්භ කර තිබේ. පාලම් බිඳවැටුණු ජලාශ හරහා ක්ෂණිකව සවි කළ හැකි යකඩවලින් තැනූ බේලි පාලම් සවි කිරිම ද සිදුවෙමින් පවතින බව ජකර්තා ග්ලෝබ් පුවත් සේවය සඳහන් කළේය. ගංවතුර බලපෑමෙන් සුමාත්‍රා දූපතේ කලාප 52ක නිවාස 1,58,000කට පමණ හානි සිදුවී ඇතැයි දැනට ඇස්තමේන්තු කර ඇත.
විපතට පත් වූවන්ට සැපයුම් ආධාර බෙදා හැරීම වේගවත් කිරීමට ද ඉන්දුනීසියානු රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගිය 9 වැනිදා වන විට ආධාර ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් බෙදා ඇති අතර, ළඟා විය නොහැකි ප්‍රදේශවලට මූලික අවශ්‍යතා ප්‍රමාදයකින් තොරව සපුරාලීම සහතික කිරිම සඳහා ගොඩබිම්, මුහුද සහ ගුවන් මාර්ග උපරිම අයුරින් භාවිත කරමින් සිටින බව උප ජනාධිපති ජිබ්රාන් රකබුමින්ගේ විශේෂ නියෝජිත නිකෝ හර්ජන්ටෝ නිවේදනය කර ඇත. ආධාර බෙදා හැරීමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින්නේ එරට සමාජ කටයුතු අමාත්‍යාංශයයි. මේ හැරුණු විට මානුෂීය මෙහෙයුම් සිදු කිරීමට සහ පීඩාවට පත් පදිංචිකරුවන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට රජයේ සහයෝගය මැද ස්වේච්ඡා ආපදා සේවකයන් දහස් ගණනින් අඛණ්ඩව කටයුතු කරන බව උප ජනාධිපති ජිබ්රාන් රකබුමින්ගේ විශේෂ නියෝජිත ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව දිනකට ආහාර වේල් දහස් ගණනක් සැපයීම සඳහා එම ප්‍රාන්තවල පොදු මුළුතැන්ගෙවල් 39ක් ස්ථාපිත කර ඇති අතර, ආහාර සැකසීම සඳහා සහල් ටොන් 101ක් දෛනිකව සපයනු ලබයි. විපතට පත්වූවන් වෙනුවෙන් ඉන්දුනීසියානු රජය ගන්නා පුළුල් පියවර අතර වැදගත්ම කොටස වන්නේ සැපයුම් බෙදා හැරීම වේගවත් කිරීමය. සාමූහිකව කටයුතු කිරීමෙන් එක්ව නැඟී සිටිය හැකි බවට මේ සියලු මෙහෙයුම්වලින් දැනටමත් ජනතාව අතර විශ්වාසයක් ගොඩනැඟීමට රජය සමත් වී ඇත.
ඉඩම් ප්‍රතිසංස්කරණය
ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම ප්‍රාන්තවල සැලකිය යුතු ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කිරිමට ද ඉන්දුනීසියානු රජයේ අවධානය යොමු වී තිබේ. ආපදා තත්ත්වයන් අවම කිරීම සඳහා මීට පෙර එළිපෙහෙළි කරනු ලැබූ වනාන්තර භූමි නැවත පරිහරණයට ගත නොහැකි අයුරින් නීති සංශෝධනය කළ යුතුව ඇතැයි එරට ගොවිජන කටයුතු ඇමැති නුස්රොන් වාහිද් ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා දැනටමත් එවැනි භුමි සම්බන්ධව ඇගයීම් කටයුතු ආරම්භ කර තිබේ. වන විනාශය සහ ඉඩම් පරිහරණයේ අවභාවිත ක්‍රියාකාරකම් හේතුවෙන් ජල අවශෝෂණය පහළ වැටීම මෙවැනි ගංවතුර තත්ත්වයන් ඉහළ යෑමට හේතු වී ඇතැයි ද, අනාගතයේදි ව්‍යසන වැළැක්වීම අරමුණු කරමින් එම නීති සංශෝධන සිදු කිරීමට සිදුවී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර ඇත. වතු කලාප, ගංගා ද්‍රෝණි සහ අනෙකුත් අධි අවදානම් සහිත ප්‍රදේශ නිසි ඇගයීමට ලක් කිරීම වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ ඊට අදාළ සෙසු ආයතන සමඟ එක්ව සිදු කෙරේ. එම නීති සංශෝධන මඟින් ගංවතුර, නාය යෑම් සහ සෙසු ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරනු ඇතැයි ද, සංවර්ධන අවශ්‍යතා සමතුලිත කරනු ඇතැයි ද එරට ගොවිජන අමාත්‍යවරයාගේ විශ්වාසය වී තිබේ. ඇගයීම් කටයුතු අවසන් කිරීමෙන් පසු පළාත් සහ දිස්ත්‍රික් සඳහා ඉඩම් පරිහරණය සම්බන්ධ සංශෝධිත නීති රෙගුලාසි නිකුත් කිරීමට එම අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
ඉන්දුනීසියාවේ අන්ටාරා පුවත් සේවය සඳහන් කර ඇත්තේ ගංවතුරෙන් පසු සුමාත්‍රා ප්‍රාන්තවල ගොඩගැසුණු දැව කඳන් ආදී සුන්බුන් ඉවත් කිරීමට සහ නිවාසවලට නැවත ප්‍රවේශ මාර්ගය එළිපෙහෙළි කිරීමට අචේ ප්‍රාන්තයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණ ඒජන්සිය විසින් පුහුණු කරන ලද අලි ඇතුන් සිව්දෙනකු යොදාගෙන ඇති බවය. ඒජන්සියේ ප්‍රධානියා ඒ බව තහවුරු කර ඇති අතර, යන්ත්‍රෝපකරණවලට ප්‍රවේශ විය නොහැකි ස්ථානවලට වැටි ඇති මාර්ග එළිපෙහෙළි කිරිම අලි ඇතුන් ලවා සිදු කිරීමෙන් ජනතාවට කඩිනමින් නැවත සිය නිවාස කරා යෑමට අවස්ථාව ලැබෙනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත. ලබන 14 වැනිදා දක්වා එම මෙහෙයුම් සිදුකිරීමට නියමිතය. මීට පෙර 2004 සුනාමි ව්‍යසනයේදී ද අචේ ප්‍රාන්තයේ විනාශ වූ ප්‍රදේශ එළිපෙහෙළි කිරීමට අලිඇතුන් භාවිතයට ගෙන තිබේ.
විදේශාධාර
සුමාත්‍රා ගංවතුරෙන් උද්ගත වූ ව්‍යසනකාරි තත්ත්වයට රටක් ලෙස තනිව මුහුණ දීමේ හැකියාව ඇති බැවින් විදේශාධාර අවශ්‍ය නොවන බවට පසුගියදා ඉන්දුනීසියානු රජය ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය නිකුත් වූයේ ආධාර ලබා දීමට ඉන්දුනීසියාවේ මිත්‍ර රටවල් රැසක් කැමැත්ත පළ කර තිබූ අවස්ථාවකදීය. පවතින තත්ත්වය අතිශයින්ම බරපතළ වුවත්, රජයේ ආයතන ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බැවින් එම ව්‍යසනයට තනිව මුහුණ දීමේ හැකියාව ඉන්දුනීසියාවට ඇති බව විදේශ ඇමැති සුගියෝනෝ ප්‍රකාශයක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත. එහෙත් ගංවතුර ආපදාවට සති දෙකක්ම ගත වී ඇති බැවින් ජාත්‍යන්තරයේ සහාය නොමැතිව රජයට මේ තත්ත්වය කළමනාකරණය කළ හැකිද යන්න පිළිබඳ විවිධ අදහස් සහ ප්‍රශ්න ද මතුවී තිබේ. සුමාත්‍රා දූපතේ ව්‍යසනයට ලක්වූ ප්‍රාන්තවල තවමත් ළඟා විය නොහැකි පළාත් රැසක් තිබෙන බව එරට ආපදා ඒජන්සියේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් සුහාර්යැන්ටෝ ප්‍රකාශ කර ඇත. මාර්ග විශාල සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ඇති බැවින් ආපදාවට ලක්වූ සියලු ප්‍රාන්තවල අවම වශයෙන් ගම්මාන 7ක් පමණ තවමත් හුදෙකලා තත්ත්වයක පවතින බවත් ඔහු තහවුරු කර ඇත. පිරිසුදු පානීය ජල සැපයුම් සම්බන්ධ ගැටලු සහ ජල හිඟය කඩිනමින් කළමනාකරණය කරගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
විපක්ෂයේ දායකත්වය
ඉන්දුනීසියාවේ ව්‍යසනයේදි වඩාත්ම කැපීපෙනෙන කරුණ වන්නේ එරට විපක්ෂයේ දායකත්වයයි. විපක්ෂයේ නියෝජිතයන් කණ්ඩායමක් පසුගියදා සුමාත්‍රා දුපතේ සංචාරයක ද නිරත ව ඇති අතර, විපතට පත් වූවන් වෙනුවෙන් ආධාර සැපයීම සඳහා සිය වැටුප් පරිත්‍යාග කර ඇතැයි ද වාර්තා විය. එරට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි දෙවැනි පක්ෂය වන ගොල්කාර් පක්ෂය ගංවතුරෙන් විනාශ වූ සුමාත්‍රා දූපතේ ප්‍රාන්ත 3ක අවතැන් වූවන් වෙනුවෙන් ඉන්දුනීසියානු රුපියල් බිලියන 3ක ආධාර ලබා දීමට පියවර ගෙන ඇති අතර, එම පක්ෂයේ සාමාජිකයන් රැසක් ස්වේච්ඡා සහන සේවකයන් ලෙස කටයුතු කිරීමට අදාළ ප්‍රාන්තවලට යොමු කර තිබේ. මීට අමතරව විපක්ෂයේ පීකේඑස් පක්ෂය ගංවතුරෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවලට ආධාර ලබා දීමට සහ ස්වේච්ඡා සේවකයන් යොමු කිරීමට ආපදා අනතුරු කාර්යසාධක බළකායක් පිහිටුවීමට කටයුතු යොදා ඇත. එරට පෑන් පක්ෂය අවතැන් වූවන් වෙනුවෙන් ඉන්දුනීසියානු රුපියල් බිලියන 5ක අරමුදලක් ගොඩනඟා තිබේ.
පසුගිය සති අන්තයේ අචේ ප්‍රාන්තයේ සංචාරය කළ ඉන්දුනීසියාවේ ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැඟීමට රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර, ආහාර සැපයුම සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම, ජලයෙන් යට වූ ගොවිබිම් ප්‍රතිසංස්කරණය කිරීම සහ හානියට පත් වේලි අලුත්වැඩියා කිරීමට ප්‍රමුඛතාව දෙන බව සඳහන් කර තිබේ. ගංවතුරට හසුවූ ප්‍රාන්තවල කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාළ වුවත් බලපෑමට ලක් වූ ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීමට එරට සෙසු ප්‍රාන්තවලින් සැපයුම් මාර්ග විවෘත කර ඇත. ජාතික සංචිත දැනට ප්‍රමාණවත් බැවින් ගොවින් කලබල විය යුතු නැතැයි ද ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දී තිබේ. ගංවතුර අර්බුයට ප්‍රතිචාර දැක්වීමේදී ඉන්දුනීසියාවේ මධ්‍යම රජය සහ ප්‍රාදේශීය පරිපාලනය සමඟ ඒකාබද්ධව හමුදාව හා පොලීසිය කටයුතු කළ ආකාරය සම්බන්ධව ජනාධිපති ප්‍රබෝවෝගේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද පැසසුමට ලක් වූ කරුණකි.
ෆවුස් මොහොමඩ් – දෙසැ. 12 දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්
