Impartial news reporting for a stronger democratic society
නොබෙල් තෑග්ග පිළිගන්න මචාඩෝ රටින් පනී !

2025 නොබෙල් සාම ත්‍යාගය, වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ ට පිරිනමනු ලැබුණි. මාස ගණනාවක් තිස්සේ සැඟවී සිටින වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව  ඔස්ලෝ නගරයට පැමිණ සිටින නමුත්, නොබෙල් ත්‍යාග උළෙලට සහභාගී නොවූව්වාය.  ඇයගේ  සම්මානය  පිළිගන්නා ලද්දේ ඇයගේ දියණිය ඇනා කොරිනා සෝසා විසිනි.
වෙනිසියුලාවේ බල පැවැත්වෙන “ආඥාදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ගෙන යන  අරගලය” වෙනුවෙන්  මෙම වසරේ (2025) සාම ත්‍යාගය මචාඩෝ වෙනුවෙන් පිරිනමන  බව ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී  හේතු පාඨය ලෙස ප්‍රකාශ කෙරිණි.


ඉතා අවදානම් ගමනක නිරතවෙමින්  රහසිගතව නෝර්වේ රාජ්‍යයට පැමිණ සිටි මචාඩෝ  බදාදා (10) මධ්‍යම රාත්‍රියේ  හෝටලයක බැල්කනිය මත පෙනී සිටියාය. විපක්ෂ නායිකාව සඳැල්ලේ  සිට සිය ආධාරකරුවන්ට අත ඔසවා ආචාරකරන දර්ශන බටහිර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කෙරෙමින් පවතීනි. මෙම වසරේ (2025)ජනවාරි මාසයෙන් පසු ඇය ප්‍රසිද්ධියේ දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
පනස් අට හැවිරිදි (58)  තිදරු මවක වන මාරියා කොරීනා මචාඩෝ සඳහා වෙනිසියුලානු ආණ්ඩුව විසින් සංචාරක තහනමක් පනවනු ලැබ ඇත.එවැනි සංචාරක තහනමක් යටතේ  විදේශගත වීම හේතුවෙන් ඇය රටින් පළාගිය තැනැත්තියක් ලෙස නම් කරන බවට වෙනිසියුලානු රජය තර්ජනය කරන බවත් වාර්තා වෙයි.
“විපක්ෂ නායිකා මචාඩෝ ඉතා හැඟීම්බර මොහොතක, නෝර්වීජියානු අගනුවර ග්‍රෑන්ඩ් හෝටලයෙන් පිටත රැස්ව සිටි ආධාරකරුවන්ට  අචාර කරමින් ඔවුන් සිපගන්නා බවට සංඥා කරමින් ඔවුන් සමඟ ගීත ගායනා කරමින් සිටි” බවත් මාධ්‍ය  සඳහාන් කරයි.
සිය රටින් පිට වූ විපක්ෂ නායිකාවට ආරක්ෂිතව වෙනිසියුලාවට ආපසු යෑමට හැකි වේද යන්න පිළිබඳව බොහෝ අනුමාන පළවෙමින් පවතී.
බී.බී.සි.ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  “ඇත්ත වශයෙන්ම මම ආපසු මගේ රටට යනවා” යි  ඇය  සඳහන් කැර ඇත.
“මම ගන්නා අවදානම් පිළිබඳ ව මම හරියටම දන්නවා” යනුවෙන්  විපක්ෂ නායිකා මචාඩෝ   එම සාකච්ඡාවේ දී සඳහන් කැර තිබුණි.
“මම අපේ අරමුණට වඩාත්ම ප්‍රයෝජනවත් ස්ථානයේ සිටිමි,” ඇය තවදුරටත් පැවසුවා යැයි සඳහාන්ය.
 “ටික කලකට පෙර, මා සිටිය යුතු යැයි මා සිතූ ස්ථානය වෙනිසියුලාව විය. අපගේ අරමුණ වෙනුවෙන් අද මා සිටිය යුතු යැයි මා විශ්වාස කරන ස්ථානය ඔස්ලෝ ය” බී.බී.සී. සාකච්ඡාවේ දී විපක්ෂ නායිකා මචාඩෝ සඳහන් කළාය.
ජනාධිපති නිකොලස් මධුරෝගේ රජය “අපරාධකාර” ලෙස හෙළාදකින මචාඩෝ, එය බලයෙන් පහ කිරීමට එක්සත් වන ලෙස වෙනිසියුලානුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඇය වෙනිසියුලානු  විපක්ෂයේ වඩාත් ප්‍රබල සහ ගෞරවනීය හඬක් ලෙස සැලකෙන බව බටහිර මාධ්‍ය  පෙන්වා දෙයි.

වෙනිසියුලාවේ නීතිපතිවරයා පසුගිය නොවැම්බර් මාසයේ  අදහස් දක්වමින්, මචාඩෝ නොබෙල් සාම  ත්‍යාගය පිළිගැනීමට නෝර්වේ වෙත ගියහොත්  රටින් පළා ගිය තැනැත්තියක් ලෙස සලකන අතර , ඇයට එරෙහිව “කුමන්ත්‍රණය , වෛරය උසිගැන්වීම සහ ත්‍රස්තවාදී  ක්‍රියා” සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරෙන බවත් කියා සිටියේය.

එමගින් ඇයගේ නෝර්වේ ගමන දුෂ්කර හා අවදානම් තත්ත්වයකට පත්කෙරුන අතර, ගමනේ විස්තර ඉතා රහසිගත ව තබා ගැනීමට සිදු විය. නොබෙල් ආයතනය පවා ඇය කොහේ සිටිනවා ද යන්න හෝ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ඇය නියමිත වේලාවට ඔස්ලෝ වෙත පැමිණෙයි ද යන්න දැන සිටියේ නැති බවයි  සඳහාන් වෙයි.

‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරන ආකාරයට   අනුව,  මචාඩෝ වෙනිසියුලාවෙන් පිටව ඇත්තේ වෙස්වළා ගනිමිනි. එකී වාර්තා අනුව අත්අඩංගුවට ගනු ලැබීමේ අනතුරින් මිදී ඇය ඉතා සූක්ෂ්මව යුද  හමුදා මුරපොළවල් දහයක් (10 ) අතරින්  යෑමට සමත්ව ඇති  අතර, වෙරළබඩ ධීවර ගම්මානයක දී  ලී බෝට්ටුවක නැගී ගමන ආරම්භ කැර ඇත.
එම මෙහෙයුමට සම්බන්ධ  පුද්ගලයකු උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත  සඳහාන් කෙළේ , අදාළ සැලැස්ම මාස දෙකක් තිස්සේ සකස් වෙමින් පැවති අතර, ඇයට රටින් පළා යෑමට උදව් කරන වෙනිසියුලානු ජාලයක් ඒ සඳහා සහාය වී ඇත බවයි.ඇතැම් තොරතුරු වලට අනුව, අමෙරිකා එක්සත් ජනපදය ද එම මෙහෙයුමට සම්බන්ධ වී ඇති  නමුත් එය ස්ථිර වශයෙන් තහවුරු වී නැත.
එම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ” මට ඔස්ලෝ වලට එන්න ගොඩක් පිරිමින් සහ කාන්තාවන් ඔවුන්ගේ ජීවිත පරදුවට තබා වැඩ කළා” යැයි විපක්ෂ නායිකා මචාඩෝ සඳහන් කළාය.

පසුගිය වසරේ පැවති  වෙනිසියුලානු ජනාධිපතිවරණයට තරඟ කිරීම ඇයට තහනම් කරනු ලැබුණි. එම ජනාධිපතිවරණයේ දී නිකොලස් මදුරෝ  තුන්වැනි වරටත් වසර හයක ධුර කාලයක් සඳහා තේරී පත්විය.එම ඡන්දය නිදහස් හෝ සාධාරණ නොවන බවට  ජාත්‍යන්තර වේදිකාවේ පුළුල් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීමට ලක්විය. අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් පද්ධතියක් මදුරෝ  පාලනය නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙයි.

උපාලි ගජනායක

එංගලන්තයේ, ලන්ඩන් නුවර සිට

Follow by Email
LinkedIn
Share
WhatsApp