
පුද්ගලයන්ට මී උණ රෝගය මීයන්ගෙන් පමණක්ම නොව ගවයන්, ඌරන්, බල්ලන් වැනි සතුන්ගේ බැක්ටීරියා ආසාදනය වීමෙන් ද වැලඳීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා ‘දිනමිණ’ට ඊයේ (07) පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“ඇති වූ ගංවතුර ආපදා තත්ත්වයෙන් පසු මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාරය වන ඩොක්සිසයික්ලින් (Doxycycline) ප්‍රතිකාරය ගත යුතුයි.
උණ, මස්පිඬු වේදනාව, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ මී උණ රෝගයේ ලක්ෂණ විය හැකියි. එවැනි ලක්ෂණ පවතින්නේ නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ගතයුතුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාරය (Doxycycline) මහජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදා හරිමින් සිටිනවා. මේ ප්‍රතිකාරය අවශ්‍යතාව අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ඇමතීමෙන් නොමිලේ ගතහැකියි.
ගංවතුර ආපදාවලට ලක් වූ ස්ථාන පිරිසුදු කිරීමට යන්නේ නම් බූට් වැනි ආරක්ෂිත ආවරණ පැලඳිය යුතුයි. පුද්ගලයකුගේ කිසියම් කුඩා හෝ කැපුම් තුවාල තිබේ නම් ගංවතුරට නිරාවරණය වන පරිදි පිරිසුදු කිරීම්වලට යෑමෙන් වැළකිය යුතුයි.”
සන්ධ්‍යා කරුණාරත්න (දිනමිණ ඇසුරෙන්)
