
ගංවතුර ආපදාවට ලක්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ සහල් කූඨ ලෙස සකසා වෙළෙඳ පොළට සැපයීමේ ජාවාරමක් සිදු වෙමින් පවතින බව තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙළි කැර ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ දී එවැනි සකසන ලද සහල් කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවන් හාරිස්පත්තුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසු කැර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා කියයි.
එවැනි කූඨ ව්‍යාපාර දිවයිනේ කවර හෝ ප්‍රදේශයක ක්‍රියාත්මක වන්නේ දැයි සිය නිලධාරීන් නිති විමසිල්ලෙන් පසුවන බව පවසන බොරලැස්ස මහතා, මෙවැනි ව්‍යාපාරවල නොයෙදෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටීති.එසේම තමන් මිලදී ගන්නා සහල් පිළිබඳව විමසිල්ලෙන් සිටීන ලෙස ඔහු පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් ඉදිරියේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට නීතියේ දැල නිසි පරිදි එලා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
කෙසේ වෙතත් මෙබඳු නීති විරෝධී ක්‍රියා ගැන යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසද එසේ නොහැකිවන අවස්ථාවලදී දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය වන 1926 ට දැනුවත් කරන ලෙසද බොරලැස්ස මහතා ඉල්ලීමක් කරයි.
