
මේ වසරේ ආරම්භයේ සිට පැසිෆික් සහ ඉන්දියානු සාගරවල අවම වශයෙන් සුළි කුණාටු 16ක් සහ පීඩන අවපාත දුසිම් ගණනක් සිදුවී ඇති අතර, අධික වර්ෂාපතනය සහ දැවැන්ත කඳු කඩාවැටෙන ආකාරයේ ප්‍රබල නාය යෑම් මේ වසරේ නිර්මාණය වූ බොහෝ සුළි කුණාටුවල කැපීපෙනෙන කරුණ බව ඉන්දියානු නිවර්තන කාලගුණ විද්‍යා ආයතනයේ දේශගුණ විද්‍යාඥ රොක්සි මැතිව් කෝල් ප්‍රකාශ කර තිබේ
ගෙවී ගිය සතිඅන්තයේදී ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික කලාපයේ රටවල් රැසක් සුළි කුණාටුවලින් පීඩාවට පත් විය. ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය මාරාන්තික ගංවතුර තත්ත්වයකට සහ දරුණු නාය යෑම් රැසකටම මුහුණ පෑ අතර, අසල්වාසී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය, මැලේසියාව, වියට්නාමය සහ බෲනායි රාජ්‍යය ද අඩුවැඩි වශයෙන් එහි බලපෑම්වලට ගොදුරු විය. ඉන් වැඩිම බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ තත්ත්වය අතිශය ඛේදජනක ය. ගංවතුරට සහ නාය යෑම්වලට හසුවී අතුරුදන් වූවන්ගේ මළ සිරුරු තවමත් ගොඩගැසෙමින් තිබේ.
ආසියාවට බලපෑ සෙන්යාර්, දිට්වා සහ කෝටෝ වැනි නිවර්තන සුළි කුණාටු ත්‍රිත්වයටම හේතු වූයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමය. මේ නිවර්තන සුළි කුණාටු ඉතා කෙටි කාලයක් ඇතුළත මිලිමීටර් සිය ගණනාවක ප්‍රබල වර්ෂාපතනයක් ලබා දුන් අතර, විවිධ ජන වර්ගවලට අයත් ජාතීන් රැසකටම මුහුණ පෑමට සිදුවූයේ එක හා සමාන කාලගුණ තත්ත්වයකටය.
සුළි කුණාටුවල කැපීපෙනෙන වර්ධනයක්
මේ වසරේ ආරම්භයේ සිට පැසිෆික් සහ ඉන්දියානු සාගරවල අවම වශයෙන් සුළි කුණාටු 16ක් සහ පීඩන අවපාත දුසිම් ගණනක් සිදුවී ඇති අතර, අධික වර්ෂාපතනය සහ දැවැන්ත කඳු කඩාවැටෙන ආකාරයේ ප්‍රබල නාය යෑම් මේ වසරේ නිර්මාණය වූ බොහෝ සුළි කුණාටුවල කැපීපෙනෙන කරුණ බව ඉන්දියානු නිවර්තන කාලගුණ විද්‍යා ආයතනයේ දේශගුණ විද්‍යාඥ රොක්සි මැතිව් කෝල් ප්‍රකාශ කර තිබේ.
දේශගුණික විපර්යාස සම්බන්ධව මෑත දශකයේදී ජාත්‍යන්තරයේ වැඩි අවධානයට ලක් වීමට හේතුවූයේ ද වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම ය. සුළිකුණාටු වර්ධනය වීමට ප්රබලතම සාධකය වන්නේ ද සාගර ජලය උණුසුම් වීමය. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ නව වාර්තාවකට අනුව වර්තමානය වන විට ගෝලීය උෂ්ණත්වය පැරිස් ගිවිසුමේ උෂ්ණත්ව ඉලක්කයට වඩා ඉහළ යෑමේ අවදානම වේගවත් වෙමින් තිබේ.
දේශගුණික විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම උදෙසා මීට දශකයකට පෙර ලොව සියලු රටවල් පැරිස් නුවරදී අත්සන් කළ එම ගිවිසුමට අනුව වායු විමෝචනය සීමා කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට වඩා බෙහෙවින් අඩු මට්ටමක තබා ගැනීමට රටවල් 196 එකඟ වී තිබිණි. එවැනි ගිවිසුමක් ස්ථාපිත කරනු ලැබුවේ ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍රයෙන් සෙල්සියස් අංශක 3.5 දක්වා ඉහළ යමින් පවතින බවට එවකට දේශගුණ විද්‍යාඥයන් සිදු කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමිනි.
පැරිස් ගිවිසුම
එමෙන්ම එය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට ද පැරිස් ගිවිසුමෙන් එකඟතාව පළ වී තිබිණි. එය වසර ගණනාවක් පුරා සිදුකළ අධ්‍යයනයකට අනුව ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ලෙස ද හඳුන්වනු ලබයි. එය ලෝක කාර්මිකකරණයට පෙර පැවති ගෝලීය උෂ්ණත්ව මට්ටම ලෙස ද සැලකේ. එම අරමුණ වෙනුවෙන් සියලු රටවල් නිශ්චිත ඉලක්ක සහිත මාර්ග සිතියම් ද සකස් කර තිබිණි. එහෙත් වර්තමානය වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන් වාර්තාවේ සඳහන් වේ. පසුගියදා නිකුත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ 2025 විමෝචන පරතරය සම්බන්ධ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ඉදිරි දශකය ඇතුළත ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවනු ඇති බවය. එය ඉතා බරපතළ පුරෝකථනයකි.
දීර්ඝ කාලයක් පුරා ලෝක දේශගුණ විද්‍යාඥයන්ගේ අදහස වූයේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවීම සඳහා තවත් දශක ගණනාවක්ම ගතවනු ඇති බවය. දේශගුණික විපර්යාසවල වඩාත් අහිතකර බලපෑම් වළක්වා ගැනීමට ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය එම මට්ටමට වඩා අඩුවෙන් තබාගැනීම අතිශය තීරණාත්මක වී තිබිණි. එබැවින් එම පුරෝකථනය ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහට ද ලක් වී තිබේ. ගෝලීය උෂ්ණත්වය අවම මට්ටමක තබා ගැනීමට විශේෂයෙන් අමෙරිකාව ඇතුළු ධනවත් රටවල ඇති කැපවීම සම්බන්ධව ලෝක දේශගුණ විද්‍යාඥයන් ද කනස්සල්ල පළ කර තිබේ.
හරිතාගාර වායු විමෝචනය
සියලු අනතුරු ඇඟවීම් තිබියදිත් ලෝක හරිතාගාර වායු විමෝචනය අඛණ්ඩව සිදු වෙමින් පවතින බැවින් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ අපේක්ෂා කළ යුතුව තිබූ පුරෝකථනයක් බව එම වැඩසටහනේ දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ මාටින් ක්‍රවුස් ප්‍රකාශ කර ඇත. එහෙත් එම පුරෝකථනය ලෝක ප්‍රජාව අවදි කළ අනතුරු ඇඟවීමක් ද වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ‘දේශගුණික විපර්යාස සියල්ල සැබෑ වෙමින් පවතී. අප කඩිනමින් මේ පිළිබඳ පියවර නොගන්නේ නම් ප්‍රතිවිපාක දරුණු වනු ඇත.‘ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ දේශගුණික විපර්යාස අංශයේ අධ්යක්ෂවරයා ද එසේ අනතුරු අඟවා තිබේ.
සාගර උෂ්ණත්වය ඉහළ යෑම
පසුගිය වසර කිහිපය ඇතුළත වායුගෝලයේ සහ සාගර උෂ්ණත්වය සැලකිය යුතු අයුරින් ඉහළ යෑමේ ප්‍රතිවිපාක මේ වන විටත් ලෝක ප්‍රජාව අත්විඳිමින් සිටී. ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම්වලට පෙර මේ වසරේදී ලොව පුරා සිදු වී ඇති දරුණු ස්වාභාවික විපත් ඊට නිදසුනකි.
පසුගිය ජනවාරියේ දකුණු අමෙරිකානු කලාපයේ පිහිටි ඉක්වදෝරයට බලපෑ නාය යෑම් සහ අධික ගංවතුර තත්ත්වයේ සිට දිට්වා සුළි කුණාටුව දක්වා සිදු වූ ස්වාභාවික විපත් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී එය මැනවින් පැහැදිලි වෙයි. අනතුරුව මේ දක්වා රටවල් රැසක ගංවතුර සහ නාය යෑම්, භු කම්පන, තාප තරංග සහ ළැව්ගිනි තත්ත්වයන් විශාල වශයෙන් සිදු වී තිබේ.
මේ සියලු ස්වාභාවික විපත් සඳහා ප්‍රධානතම සාධකය දේශගුණික විපර්යාස බව ලෝක විද්‍යාඥයන් අඛණ්ඩව ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවදානම තවදුරටත් පවතින්නේ නම් ඉදිරි වසර 10 – 20 අතර කාලසීමාව ඇතුළත සිදුවිය හැකි මහා විනාශකාරි ස්වාභාවික ආපදා සහ ඊට ගොදුරු වනු ඇතැයි අනුමාන කළ කලාප සහ රටවල් සම්බන්ධයෙන් ද පුරෝකථන නිකුත් කර තිබේ.
මේ පිළිබඳ ලෝක දේශගුණ විද්‍යාඥයන් විසින් සිදු කර ඇති පුරෝකථනවලට අනුව 4 සහ 5 කාණ්ඩයට අයත් සුළි කුණාටු සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වනු ඇත. එම කාණ්ඩවලට අයත් සුළි කුණාටුවල බලපෑම් ද 20% සිට 30% දක්වා ඉහළ යෑමේ අවදානමක් ද පවතී. වර්ෂාපතනයේ සහ මාරාන්තික ගංවතුර තත්ත්වයේ ඉහළ යෑමක් ද සිදු විය හැකි බවට අනාවැකි පළ වී තිබේ. වසර 1993 සිට පසුගිය වසර දක්වා සෙන්ටිමීටර් 11කින් ඉහළ ගිය බවට වාර්තා වන මුහුදු මට්ටම ද වසර 2030 වන විට සෙන්ටි මීටර් 5 දක්වා ඉහළ යෑමේ අවදානමක් ද මතු වී තිබේ.
එම තත්ත්වය යටතේ ඉදිරි වසරවලදී සුළි කුණාටු හේතුවෙන් සිදු විය හැකි ආපදා ඉහළ මට්ටමක පවතින අතර, එම සුළි කුණාටුවල බලපෑම් හේතුවෙන් වර්ෂාපතනය ද 30%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යනු ඇතැයි ද ලෝක දේශගුණ විද්‍යාඥයන් අනුමාන කර තිබේ. එය ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උතුරු සහ නැඟෙනහිර ඇතුළු වෙරළ තීරයන් වෙත වැඩි වශයෙන් නිරාවරණය වූ රටවලට අහිතකර බලපෑම් සිදු වීමේ ප්‍රවණතාව ද සැලකිය යුතු මට්ටමක පවතින බව සඳහන් වේ.
බෙංගාල බොක්ක සහ අරාබි මුහුද
එමෙන්ම මීට පෙර සුළි කුණාටු විරල කොරියාව, ජපානය සහ ඇලස්කාව වැනි කලාපවලට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි වාර්තා වේ. එම පුරෝකථනවලට අනුව අරාබි මුහුදට ද සුළි කුණාටු අවදානමක් පවතින අතර, ඕමානය වැනි රටවලට එමඟින් අවදානම ඉහළ ගොස් තිබේ. බෙංගාල බොක්ක ආශ්‍රිතව මීට පෙර වැඩි වශයෙන් වාර්තා නොවූ 4 සහ 5 වැනි කාණ්ඩවලට අයත් සුළි කුණාටු තත්ත්වයන් මතු විය හැකි බවට ද වාර්තා පළ වී තිබේ.
වසර 2020 සිදුවූ අම්පාන් සහ 2023 දී සිදු වූ මෝචා සුළි කුණාටු අයත් වන්නේ එම කාණ්ඩවලටය. වසර 2045 වන විට ආසියාතික කලාපයේ සුළි කුණාටු අවදානම ඕමානය, පාකිස්තානය, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලට සහ මාලදිවයිනට ද මතුවිය හැකි ආකාරයේ වර්ධනයක් සිදු වෙමින් පවතින බව සඳහන් වේ. ඉන්දියාවට බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව කලාප 2කින්ම දරුණු සුළි කුණාටු අවදානමක් පවතින බවට ද තොරතුරු පළ වී තිබේ. වසර 2049 වන විට දේශගුණික විපර්යාස සඳහා වසරකට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 38ක් වැය වනු ඇතැයි මීට වසරකට පෙර ලෝක ප්‍රකට ‘නේචර්’ සඟරාවේ පළ වී තිබිණි. ‘දේශගුණික විපර්යාසවල ආර්ථික කැපවීම’ නමින් පළ වූ එම ලිපියෙන් ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතනයේ විවිධ වෙනස්වීම් පිළිබඳ ඉතා මැනවින් විග්‍රහ කර තිබේ. වර්තමානයේදී ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝක ප්‍රජාව මුහුණ පා සිටින්නේ එවැනි තත්ත්වයකටය.
ෆවුස් මොහොමඩ් – දෙසැ. 05- 2025, දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්
