Impartial news reporting for a stronger democratic society
හලාවත ස්ථාපිත ජපාන විශේෂ ක්ෂේත්‍ර රෝහල සෞඛ්‍ය ලේකම්ගේ නිරීක්ෂණයට

ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමේ මුලිකත්වයෙන් හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කැර ඇති විශේෂ ක්ෂේත්‍ර රෝහල මඟින් සිදුකරනු ලබන සුව සත්කාර සේවාවන් පිළිබදව සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ පස්වරුවේ (05) එහි විශේෂ නිරීක්ෂණයක නිරත විය.

 ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම අවස්ථාව සමග එක්වූහ.

මෙරට ඇති වුණ හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීමේ අරමුණින් පසුගියදා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත  හලාවත සහ ඒ අවට ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට ප්‍රතිකාර සේවාවන් ලබා දීම ප්‍රමුඛ අරමුණ කැර ගනිමින්  විශේෂ ක්ෂේත්‍ර රෝහලක් හලාවත මූලස්ථාන පොලීස් ක්‍රීඩාංගනයේ ස්ථාපිත කෙරිණි.

පසුගිය 04 වැනිදා සිට ප්‍රතිකාර සේවාවන් ආරම්භ කරන ලද එම විශේෂ ක්ෂේත්‍ර රෝහල මඟින් දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා අඛණ්ඩව ප්‍රතිකාර සේවාවන් සිදුකරනු ලබයි.

මෙහි දී ලේකම්වරයා ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම  මෙරට ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකරන ආකාරය පිළිබඳව පෞද්ගලිකවම නිරීක්ෂණය කරන ලද අතර ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම ක්ෂේත්‍ර රෝහල පළමු අදියරේ රෝහලක් බවත් (type 1) මේවන විට රෝගීන් සියයකට අධික පිරිසකට ප්‍රතිකාර සේවාවන් සිදු කැර ඇති බවත් පැවසීය.

ජපානය ශ්‍රී ලංකාවේ ඉතා මිත්‍රශීලී රටක් බව ද අවධාරණය කළ ලේකම්වරයා මෙරට විවිධ ආපදාවන්ට ගොදුරු වූ සෑම අවස්ථාවකදීම පාහේ ජපානය සහයෝගය ලබාදීමට පැමිණෙන බවද සිහිපත්කර සිටියේය. මෙරටට පැමිණි සහන කණ්ඩායම් අතරින් පළමුවෙන්ම පැමිණි කණ්ඩායම ලෙස මෙම කණ්ඩයම හැදින්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ජල ගැල්මට හසුවූ හලාවත දිස්ත්‍රික්මහ රෝහලේ මේවන විට ප්‍රතිකාර සේවාවන් අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, සියලුම ප්‍රතිකාර සේවාවන් ජනතාවට ලබා දීමට නොහැකි මෙම අවස්ථාවේ ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමේ විශේෂ ක්ෂේත්‍ර රෝහල ස්ථාපිත කිරීමට සුදුසුම ස්ථානය හලාවත වන බැවින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබා දුන් උපදෙස් මත මෙම ක්ෂේත්‍ර රෝහල මෙහි ස්ථාපිත කිරීමට තමන් උපදෙස් ලබා දුන් බවත්, එම කණ්ඩායම මෙරට ජනතාවට කාර්යක්ෂමව සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව තමන්ට අද දින නිරීක්ෂණය වූ බවද  බවද ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළුව  සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම හදිසි ආපදා සහන විශේෂඥ  කණ්ඩායමට ඇතුළත්වේ.

ඉදිරි සති දෙකකට අධික කාලයක් හලාවත ප්‍රදේශයේ රැදී සිට ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට කටයුතු කරන බව එම හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මහතා ද මෙහි දී අදහස් දක්වමින් පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අසංක වෙදමුල්ල යන මහත්වරුන් ඇතුළුව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JAICA) නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

චන්දන වි‌ජේකෝන්

විසින්

Follow by Email
LinkedIn
Share
WhatsApp