Impartial news reporting for a stronger democratic society
පුටින්ගේ ඉන්දීය සංචාරය; තෙල්,ආරක්ෂාව සහ භූ දේශපාලන වුවමනාවක් ද ?

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ සිදු කරන දෙදින සංචාරය සම්බන්ධයෙන් ලොව සියලු බල කඳවුරුවල අවධානය යොමුවින් පවතී.
මෙම දෙදින සංචාරයේ දී රුසියාවේ නායකයා ඉන්දීය  අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ දෙරට විසින් පවත්වනු ලබන වාර්ෂික සමුළුවකට සහභාගී වීමට ද නියමිතය.

ජනාධිපති පුටින් මෙම ඉන්දීය සංචාරයේ නිරතවන්නේ රුසියාවෙන්  තෙල් මිලදී ගැනීම නවත්වන ලෙස  එක්සත් ජනපදය , ඉන්දියාවට එල්ල කරන  දැඩි පීඩනයෙන්  මාස කිහිපයකට පසුවය. එවැනි පරිසරයක සිදු කෙරෙන මෙම සංචාරයේදී දිල්ලිය සහ මොස්කව් ගිවිසුම් ගණනාවකට  අත්සන් තබනු  ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම මෙම සංචාරය සිදු කෙරෙන්නේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය රුසියාව සහ යුක්රේනය සමඟ සාකච්ඡා මාලාවක් පවත්වන අතරතුර සිදුවීම විශේෂයකි.

වසර සියයකට අධික ඉතිහාසයක (සෝවියට් පාලන සමයේ පටන් අද දක්වා) නව දිල්ලිය සහ මොස්කව් පාලනය සමීප සගයන් ව  කටයුතු කරන අතර  ජනාධිපති  පුටින් සහ අගමැති මෝදි  පාලන සමයේ එම සබඳතාව තවත් උණුසුම් සුහදතාවක් ප්‍රදර්ශනය කරයි. එමගින් පෙන්නුම් කෙරෙන්නේ  අන්‍යෝන්‍ය වශයෙන් පවත්වා ගනු ලබන  සහයෝගයේ වැදගත්භාවය  දෙපාර්ශ්වය මනාව තේරුම්ගෙන ඇති බවයි. මෙය වෙනත් වචනවලින් සඳහන් කරන්නේ නම්, එමඟින් කියැවෙන්නේ  භූ දේශපාලනමය සහ වෙළෙඳ සහ වාණිජ ක්‍ෂේත්‍රයන්හි එකිනෙකා මුණගැසෙන ඔවුන්ට පොදු වූ වුවනාවන් පද්ධතියක් පවතින බවයි.
ඉන්දියාව සමඟ සබඳතා ක්‍රෙම්ලිනයට වැදගත් වන්නේ කුමක් හෙයින්දැයි විශ්ලේෂණය කරන මොස්කව් නගරයේ සිටින බී.බී.සී.වාර්තාකරු  ස්ටීව් රොසෙන්බර්ග්  ‘බිලියන එක හමාරක් පමණ ජනගහනයක් සහිත ඉන්දියාව රුසියානු භාණ්ඩ හා සම්පත් සඳහා , විශේෂයෙන් තෙල් සඳහා – ඉතා ආකර්ශනීය වෙළඳපොළක් ‘ යැයි ප්‍රකාශ කෙළේය.

ලෝක මට්ටමින් පිළිගනු ලැබ ඇති ආකාරයට ඉන්දියාවේ ආර්ථික වර්ධනය 8% ඉක්මවයි. එසේම, ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය බවට පත්ව ඇත. ඒ නිසාම ඉන්දියාව – රුසියානු භාණ්ඩ හා සම්පත් සඳහා , විශේෂයෙන් තෙල් සඳහා  ඉතා ආකර්ශනීය වෙළෙඳ පොළක් බවට පත් වීම නිශේධ කළ නොහැක.

තවදුරටත් විමසන විට, ඉන්දියාව ලෝකයේ තුන්වැනි විශාලතම බොරතෙල් පාරිභෝගිකයා වන අතර, ඔවුන්ට අවශ්‍ය තෙල්වලින් විශාල ප්‍රමාණයක් මිල දී ගෙන තිබුණේ රුසියාවෙනි. ක්‍රෙම්ලිනය විසින් යුක්රේනය  ආක්‍රමණය කරනු ලැබීමට පෙර, ඉන්දියාවේ තෙල් ආනයනයෙන් 2.5% ක් පමණ සිදු කෙරුනේ මොස්කව්  වෙතිනි.

එහෙත් එම ගනුදෙනුව ආරම්භයේ පටන් ම වොෂිංටනයේ සතුටට කරුණක් නොවුණි.

මේ වසර මුලදී , ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයට අපනයනය කෙරෙන ඉන්දියානු භාණ්ඩ සඳහා අතිරේක 25% ක තීරුබදු පනවන ලද්දේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීමෙන් ඉන්දියාව ක්‍රෙම්ලිනයේ යුධ වියදම් සඳහා අරමුදල් සැපයීමට උදව් කරන බවට තර්ක කරමිනි. ප්‍රතිවිපාකය වුණේ රුසියානු තෙල් සඳහා ඉන්දියාවෙන් ඇණවුම් කිරීම එතැන් සිට පහත වැටීමයි. මේ අතර ජනාධිපති පුටින් ගේ වුවමනාව ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිල දී ගැනීම සඳහා ආකර්ෂණය කැර ගැනීමයි.

ඉන්දියාවට අවශ්‍ය කරන අවි ආයුධ විකිණීම මොස්කව් පාලනයේ තවත් ප්‍රමුඛතාවයක් වෙයි.එය සෝවියට් පාලන සමයේ  සිට පැවත එන ගනු දෙනුවකි. ජනාධිපති පුටින්ගේ මෙම  සංචාරයට පෙර, ඉන්දියාව අති නවීන රුසියානු ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති මිලදී ගැනීමට සැලසුම් කරන බවට වාර්තා පළවෙමින් තිබුණි.

මෙයින් මාස තුනකට පෙර ක්‍රෙම්ලින් නායකයා වන පුටින් ,චීනයේ  සංචාරයක නිරතවෙමින් ජනාධිපති  ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට අතිරේක ව බේජිං යුද යාන්ත්‍රණයේ ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කෙරෙන යුද පෙළපාලියක් ද නිරීක්ෂණය කෙළේය. එපමණක් නොවේ. ඔහු එම සංචාරයේදීම අගමැති මෝදි හමුවීමට ද කාලය වැය කෙළේ නොමසුරුව ය.චීන ඉන්දීය සහ රුසියානු බලවතුන් තිදෙනා සිනාසෙමින් සහ එකට කතාබස් කරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මඟින්  යුක්රේන්  යුද්ධය නොතකා, ” බහු ධ්‍රැවීය ලෝකයක් ” යන සංකල්පයට සහාය දක්වන ප්‍රබල හිතවතුන්  මොස්කව් සතුව සිටින බවට පැහැදිලි පණිවිඩයක් ද යවනු ලැබුණි.

“මෙම පරිසරය මඟින් පෙන්නුම් කෙරෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල් සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව ක්‍රෙම්ලිනය විශ්වාස කරන බව යැයි ‘නොවායා ගසෙතා’  තීරු ලිපි රචක අන්ද්‍රේයි  කොලෙස්නිකොව් (Andrei Kolesnikov) විශ්වාස කරයි.

“අපි ආසියාවට සහ ගෝලීය දකුණට සම්බන්ධතා ඇති නිසා අපි හුදකලා වී නැහැ. ආර්ථික වශයෙන්, මෙය අනාගතයයි. ඒ අර්ථයෙන් රුසියාව, සෝවියට් සංගමය මෙන් ලෝකයේ මෙම ප්‍රදේශවල ප්‍රධාන නළුවා ලෙස නැවත පැමිණ සිටියි ” යනුවෙන් අන්ද්‍රේයි  කොලෙස්නිකොව් සඳහන් කෙළේය.

අනිත් අතින් ජනාධිපති පුටින්ගේ  නවදිල්ලි සංචාරය අගමැති මෝදි සහ ඉන්දියාවේ ගෝලීය අභිලාෂයන් සඳහා තීරණාත්මක අවස්ථාවකට පැමිණීමක් යැයි විකාස් පාණ්ඩේ (Vikas Pandey)සඳහන් කරයි.ඉන්දියා-රුසියා සබඳතා සෝවියට් යුගය කරා  ආපසු යන අතර, එය වෙනස්වන භූ දේශපාලනික දර්ශනය නොසලකා දිගටම පැවතුන බවයි විකාස් පාණ්ඩේ  පවසන්නේ .

වඩාත් ගැඹුරින් විමසන විට ජනාධිපති පුටින් ඔහුට පෙර සිටි අනෙකුත් රුසියානු නායකයන්ට වඩා ඉන්දියානු සම්බන්ධතාවයට වැඩි කාලයක් සහ ශක්තියක් යොදවා ඇති බවට තර්ක ඉදිරිපත් වෙයි.අගමැති මෝදි  සම්බන්ධයෙන් ගත් කළ, යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් රුසියාව විවේචනය කිරීම සඳහා බටහිර රජයන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වුවද , ගැටුම විසඳීමට ඇති එකම මාර්ගය සංවාදය බව ඔහු නිරන්තරයෙන් කියා සිටියේය.

මෙය ඉන්දියාවේ “උපායමාර්ගික ස්වාධීනත්වය” විය .මෝදි  භූ දේශපාලනික අනුපිළිවෙළ හි විශේෂ ස්ථානයක් අත්පත් කැර ගෙන සිටි අතර, එහිදී ඔහු මොස්කව් සමඟ සමීප සබඳතා පවත්වා ගනිමින් බටහිර රටවල් සමඟ ද ඔහුගේ සම්බන්ධතාවය අඛන්ඩව පවත්වා ගෙන ගියේය. එහෙත් එය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුනේ ජනාධිපති  ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පියනගන තෙක් පමණි. තීරුබදු අවහිරතාවය විසඳීමට රටවල් දෙක අපොහොසත් වීම හේතුවෙන්  මෑත මාසවලදී ඉන්දියා-අමෙරිකානු සබඳතා සර්වකාලීන අවම මට්ටමකට පැමිණ තිබේ.

මෙම සන්දර්භය තුළ, පුටින්ගේ සංචාරය අගමැති මෝදිට වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ එය ඉන්දියාවේ භූ දේශපාලනික ස්වාධීනත්වය පරීක්ෂා කෙරෙන අවස්ථාවක් වන බැවිනි. ඔහු මෙහි දී රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයෙහි ගමන් කරනු ඇත යන්න  කිවයුතුව තිබේ.

උපාලි ගජනායක

 ලන්ඩන් නුවර සිට

Follow by Email
LinkedIn
Share
WhatsApp