Impartial news reporting for a stronger democratic society
 ගලවා ගැනීමේ කණ්ඩායමක් සමඟ හදිසි සහන ද්‍රව්‍ය  රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවේ යානයක්  කොළඹට එයි

ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ හදිසි සහන ද්‍රව්‍ය  රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා වී  ඇත.

 ශ්‍රී  ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර, නියෝජ්‍ය  ඇමැති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතාගේ උපදෙස් මත පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක් මෙරටට එවා තිබේ.

කූඩාරම් , බ්ලැන්කට්, බ්ලැන්කට් ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත් වේ.

පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්ථානය කටයුතු කැර තිබේ.

මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගීතාවය සඳහා වන සිය දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පාකිස්ථානය  අඛණ්ඩව සිදුකරනු ඇති බව මෙමගින් යළිත් අවධාරණය කැර ඇත.

චන්දන වි‌ජේකෝන් විසින්

Follow by Email
LinkedIn
Share
WhatsApp