
සිදුව තිබෙන විපත් සම්බන්ධයෙන් ආණ්ඩුව මූලික දැනුම්වත් කිරීමක් නොකළ බවට බොහෝ දෙනෙක් කියා සිටිනවා. මේ සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවාද?
ඕනෑම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්. පටු දේශපාලන වාසි බලාගෙන ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම සුදුසු නෑ. මොකද මේ වගේ දෙයක් සම්බන්ධයෙන් හානියේ ප්‍රමාණය කොතරම්ද කියලා කිසිවෙකුට කියන්න බෑ. නමුත් වර්ෂාපතනයේ වැඩිවීමක්, සුළඟේ වේගය වැඩිවීමක්, කුණාටු ඇතිවීමක් වගේ දේවල් අපිට කියන්න පුළුවන්. නමුත් යම් හානියක් කොතරම් ප්‍රමාණයක ප්‍රමාණයකින් සිදු වේවිද? එහි හානියේ බලපැම කොතරම් දුරට සිදු වේවිද කියලා කිසිවෙකුටත් සඳහනක් කිරීමේ හැකියාවක් නෑ.
සාමාන්‍ය ජනතාව පමණක් නොවෙයි, නිසි අයුරින් කළමනාකරණයක් සිදු නොවන බවට විපක්ෂයෙන් පවා චෝදනා කළා?
විපක්ෂෙය් ඔක්කොම එකතුවෙලා පොදු විපක්ෂයක් වෙලානේ තියෙන්නේ. අපි හැමදෙනාම අවධානය යොමුකළ යුතු වන්නේ පවතින ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි. ආර්ථිකය විනාශ කරලා දාපු මිනිස්සු, සමාජ සම්බන්ධතා බිඳ දාපු මිනිස්සු කියන කතාවල කිසිම හරයක් නෑ. ඒවා වචන පමණයි. වැදගත්ම කාරණය වන්නේ දේශපාලන පක්ෂ, පාටවලින් ඈත්වෙලා මේ මොහොතේ පවතින වාතාවරණයට මුහුණදීමට කටයුතු කිරීමයි. අවතැන්වූවන්ට අවශ්‍ය කරන ආහාරපාන ආදිය මෙන්ම අනෙකුත් පහසුකම් අපි නිසි අයුරින් ලබා දෙනවා.
ප්‍රජා සහන සේවා කණ්ඩායම් මෙන්ම ජවිපෙ රතු තරුව සහන සේවා බළකාය මේ මොහොතේදී ඔවුන්ගේ කටයුතු නිසි අයුරින් ඉටු කරමින් සිටින වෙලාවක්. විපක්ෂය මොනවා කිවුවත් ආණ්ඩුව ඉතා ශක්තිමත්ව මේ සඳහා මුහුණ දෙමින් සිටිනවා.
මේ වෙනකොට ආණ්ඩුව ආපදා තත්ත්වය වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද?
මේ කුණාටු තත්ත්වයත් සමඟ ඇතිවුණ ආපදාකාරී තත්ත්වය ඉතාමත්ම ප්‍රබලයි. එයින් රටේ බොහෝ තැන්වලට විනාශකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවුණා. අපි මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් තමයි කටයුතු කරන්නේ. ඒ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, සෞඛ්‍ය අංශ, ආපදා සහ කළමනාකරණ මධ්‍යස්ථාන දැනුම්වත් කිරීම් කර තිබුණු නිසා ජීවිත විශාල වශයෙන් බේරාගැනීමට හැකියාව ලැබුණා. දිවා රෑ නොබලා ඉටුකළ කාර්යයන්හි ප්‍රතිඵල තියෙනවා. නමුත්, එය 100%ක් හොඳයි කියලා කියන්නේ නෑ. 1978 වසරෙන් පස්සේ ඇතිවුණ විශාලතම ආපදාකාරි තත්ත්වයට තමයි අපි මේ මුහුණ දෙමින් සිටින්නේ.
ජනාධිපතිතුමා සියලුම පක්ෂ පාර්ලිමේන්තුවට කැඳවලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා, මේ වෙනුවෙන් එක්වෙලා කටයුතු කරන්නය කියලා.
ඒ වගේම තමයි විශේෂයෙන් ජීවිතවලට හානිවීම් අඩු කරගන්න කටයුතු කරන්න කියලා. නමුත්, අවාසනාවකට වගේ ජීවිත හානිවීම් සිදුවුණා. කොහොම වුණත් ඒ සියලුදෙනා වෙනුවෙන් කඩිනමින් වන්දි මුදල් ලබාදීමට වගේම අවතැන්වූවන්ට වුවමනා කරන පහසුකම් සැපයීමට අපි කටයුතු කරමින් සිටිනවා.
බොහොමයක් ස්ථානවල විශේෂයෙන්ම අවදානම් ස්ථානවල අනවසර ඉදිකිරීම් කරලා තියෙනවා. මේ ඉදිකිරීම් ඉවත් නොකිරීම නිසාම වැඩි විනාශයක් සිදුව ඇති බවක් පෙනී යනවා නේද?
මේ සියල්ල සිදුවීමට පෙර සිටම ඒවා ඉවත් කිරීමට යනකොට අපට බොහෝ බාධාවන්වලට මුහුණදීමට සිදු වුණා. එයට විරුද්ධව වූ සියල්ලන්ටම දැන් එය හොඳින් තේරුම් ගොස් ඇති. මධ්‍යම කඳුකරයේ පමණක් අවදානම් කලාප ලෙසින් හඳුනාගත හැකි බෑවුම් 20%ක් පමණ තිබෙනවා. මේ තුළ ඉදිකිරීම් සිදු කරන්න චක්‍රලේඛයක් මඟින් අවසර දී තිබුණා. මේ කරුණ නිසා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අපට හැකියාවක් ලැබුණේ නෑ. මේ නිසාම අවදානම් කලාපවල ඉදිකිරීම් කරන්න ජනතාව පෙලඹුණා. නමුත්, මීට මාස දෙකකට පමණ පෙර අපේ ආණ්ඩුවෙන් මේ චක්‍රලේඛයේ සංශෝධනයන් කිරීමට කටයුතු කළා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ සම්මත කර ගත යුතුයි.
මින්පසු මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හෝ වගකිවයුතු අංශයකින් ඔබව දැනුම්වත් කරලා තියෙනවාද?
කාලගුණය කියන එක මොහොතින් මොහොත වෙනස්වීමට ලක්වන්නක්. දින 3 – 4ක ඉදිරි විස්තරයක් ලබා දුන්නත් දිගුකාලීන පුරෝකථනයන් ලබාදීමේ හැකියාවක් කවරෙකුටවත් නෑ. වර්ෂාපතනය සම්බන්ධයෙන්, එය ලැබෙන පළාත සහ සුළං තත්ත්වය වගේ දේවල් කියන්න පුළුවන්. නමුත්, එයින් සිදුවන හානියේ බරපතළකම සහ ප්‍රමාණය සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. අපි නෙවෙයි තාක්ෂණය ඉහළින්ම තියෙන රටකටවත් එහෙම කීමේ හැකියාවක් නෑ. වියට්නාමයේ පවතින තාක්ෂණය අපිට වඩා දියුණුයි. නමුත් ඔවුන්ටවත් බැරි වුණා ඔවුන්ගේ රටට සිදුවන හානිය ප්‍රකාශ කරන්න. මේ කියන්නේ ලංකාවට වුණ දේ සාධාරණීකරණය කරන්න නෙවෙයි.
මේ වෙනකොට අවදානම් තත්ත්වය පහළ ගොස් තිබෙනවා. භූ විද්‍යාඥයකු විදිහට ඔබ කොහොමද මේ ආපදාකාරී තත්ත්වයන් දකින්නේ?
සාමාන්‍යයෙන් වර්ෂාපතනයන් සමඟ නායයෑම් ප්‍රමාණය වැඩි වෙනවා. එය බොහෝවිට සිදුවන්නක්. මේ හේතුවෙන් ස්තරයේ බෑවුම්වල තිබෙන පස් ප්‍රමාණය වැඩි වී ගොස් එහි දරාගැනීමේ ශක්තිය අඩුවෙනවා. එවිට ගුරුත්වය යටතේ පහළට චලනය වීමක් සිදුවනවා. අපි නායයෑම් කියලා හඳුන්වන්නේ අන්න ඒක. මේ මොහොතේ සිදුවූ බලපෑම සුළුපටු නෑ. ඉදිරියේදී නව තාක්ෂණික ක්‍රමවේද මඟින් තත්ත්වයන් නිරීක්ෂණය කොට විසඳුම් ලබා දෙන්න අපිට හැකියාව ලැබෙනවා. අපට අන්තර්ජාතික සංවිධාන මඟින් ඒ සඳහා අවශ්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් ආධාර හැටියට ලැබිලා තියෙනවා. මේ මඟින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට ප්‍රකාශ කරන්න පුළුවන් මේ මොහොතේ යම්කිසි ප්‍රදේශයකට කවර ආකාරයක වර්ෂාපතනයක් සිදුවෙනවාද කියලා. ඒ වගේ උපකරණ රටපුරා හාරසියයකට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට සවිකරලා තිබෙනවා. වර්ෂාපතනයේ යම්කිසි වැඩිවීමක් වෙනකොට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු දැනුම්වත් කරනවා එම ප්‍රදේශය අධි අවදානම් ප්‍රදේශයක් කියලා. ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු සිද්ධ වෙනවා. මේ නිසා ජීවිත හානිය වළක්වා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. මේ වෙනකොට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය දැඩි අවදානම් කලාප සිතියම්ගත කර අවසන්. මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා. දැනුම්වත් කරලා යන්න කිවුවත් ජනතාවට යන තැනක් තිබිය යුතුයි. එමනිසා එයට අවශ්‍ය ඉඩකඩම් හා අනෙකුත් පහසුකම් ලබා ගැනීමට මෙවර අය-වැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. මේ කටයුතු ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක වීමටත් නියමිතයි.
මේ ආපදාවන් සමඟ ජීවිත හානි, වගා හානි වගේම දේපළවලිනුත් මිනිස්සුන්ට වන්දි ගෙවන්න සිදු වුණා. ආපදාවත් එක්ක ජනතාවට ප්‍රශ්න ගණනාවක් ඉතිරි වුණා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මොන වගේ ක්රියාමාර්ගයන්ද ගන්න අදහස් කරන්නේ?
පළමු පියවර තමයි, ජනතාවට මූලික පහසුකම් ලබාදීම. මේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා. ඒ වගේම ජීවිත හානි වෙනුවෙන් වන්දි මුදල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා. දේපොළ හානි වෙනුවෙන් ඒවා තක්සේරු කිරීමෙන් අනතුරුව ඒවා වෙනුවෙන් මුදල් ලබාදීමට හැකි ඉක්මනින් කටයුතු කරනවා.
රජිත බස්නායක, දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්
