
දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් පීඩාවට පත්වෙද්දී වියට්නාම මුහුදු සීමාවෙන් හමා ගිය ‘කෝටෝ’ සුළි කුණාටුව ජීවිත 3ක් බිලිගත් බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
දින ගණනාවක් පුරා තද සුළං සහ අධික වර්ෂාවෙන් පීඩාවට පත්ව සිටි වියට්නාමයට ඊයේ(30) උදෑසන ‘කෝටෝ’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. සුළි කුණාටුවේ ප්රචණ්ඩත්වය දරුණු බැවින් මුහුදු යෑමෙන් වළකින ලෙස වියට්නාම බලධාරීන් ධීවරයන්ට නියෝග කැර ඇති අතර, දැඩි අවධානයෙන් පසුවන ලෙස මුහුදු බඩ පළාත්වල ජනතාවට උපදෙස් දී ඇත..
ඊයේ උදෑසන මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් සුළි කුණාටුවට හසුවී ඇති අතර, ධීවරයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව එරට පාරිසරික අමාත්‍යාංශය නිවේදනය කර ඇත. අතුරුදන් වූ බවට තොරතුරු ලැබී ඇති තවත් ධීවරයකු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කැර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වියට්නාම මුහුදු සීමාවේ කිලෝමීටර් 300ක් දුරින් හමා ගිය බව කියන ‘කෝටෝ’ සුළි කුණාටුව මේ වසරේදී එරටට බලපෑ 15 වැනි කුණාටුව ලෙස සඳහාන් වේ.
