වර්ධනය සංවර්ධිත ආර්ථිකයන් සහ ප්‍රාග්ධන – දැඩි අංශවල සංකේන්ද්‍රණය වෙයි

2025 වර්ෂයේදී ගෝලීය විදේශ සෘජු ආයෝජන (FDI) ප්රවාහයන් සියයට 14කින් ඉහළ ගොස් ඇති අතර, එය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සංවිධානය (UNCTAD) ජනවාරි 20 වැනි දින නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වෙයි.
වාර්තාවෙන් අනාවරණය වන පරිදි, වසර දෙකක අඛණ්ඩ පහත වැටීමකින් පසු මෙම වර්ධනය සිදුවීම විශේෂත්වයක් වී ඇති බවයි.
කෙසේ වෙතත්, වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙම වර්ධනය සැබෑ ආයෝජන ක්‍රියාකාරකම්වල පුළුල් යථා තත්ත්වයට පත්වීමක් නොව, විශාල වශයෙන් ගෝලීය මූල්‍ය මධ්‍යස්ථාන හරහා සිදු වූ ප්රවාහයන් මත පදනම් වූ එකක් බවයි. එම “නල ප්‍රවාහ” ඉවත් කළහොත්, 2025දී ගෝලීය FDI වර්ධනය සියයට 5කට ආසන්න මට්ටමකට සීමා වන බව වාර්තාව අවධාරණය කරයි.
ආයෝජන රටාතුළ ගැඹුරු වෙනස්කම්
FDI රටා විමර්ශනය කිරීමේදී, සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් අතර පරතරය පුළුල් වීම, උපායමාර්ගික අංශ කිහිපයකට ආයෝජන වැඩි වැඩියෙන් සංකේන්ද්‍රණය වීම සහ තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘතිවල අඛණ්ඩ දුර්වලතාවය පැහැදිලිව දක්නට ලැබේ.
මූල්‍ය මධ්‍යස්ථාන වර්ධනයට ප්‍රධාන හේතුව
2025 වර්ධනයෙන් ඩොලර් බිලියන 140කට අධික කොටසක්, ගෝලීය මූල්‍ය මධ්‍යස්ථාන හරහා සිදු වූ ඉහළ ප්‍රවාහයන්ගෙන් ලැබී ඇත. මෙය යටින් පවතින ආයෝජන ක්‍රියාකාරකම්වල සීමිත ප්‍රකෘතියක් පවතින බව පෙන්වා දෙයි.
ආයෝජකයින්ගේ විශ්වාසය පෙන්වන ප්‍රධාන දර්ශක දුර්වල මට්ටමක පැවති අතර,
- ජාත්‍යන්තර ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කැර ගැනීම් (M&A) වටිනාකම සියයට 10කින් පහත වැටුණි.
- ජාත්‍යන්තර ව්‍යාපෘති මූල්‍යකරණය වටිනාකමින් සියයට 16කින් සහ ගනුදෙනු සංඛ්‍යාවෙන් සියයට 12කින් අඩු විය.
මෙය අඛණ්ඩව සිව්වන වසරටත් මෙම අංශය පහත වැටෙන බවත්, 2019දී පැවති මට්ටම්වලට ආසන්න වීමක් බවත් වාර්තාව පෙන්වා දෙයි.
හරිත ක්ෂේත්‍ර (Greenfield) ව්‍යාපෘති නිවේදන සංඛ්‍යාවද සියයට 16කින් අඩු වූ අතර, මුළු වටිනාකම උසස් මට්ටමක පැවතුණද, එය මෙගා ව්‍යාපෘති කිහිපයක් මඟින් පමණක් මෙහෙයවුණු බව සඳහන් වේ.
සංවර්ධිත ආර්ථිකයන්හි FDI දැඩි ලෙස ඉහළට
2025දී සංවර්ධිත ආර්ථිකයන් වෙත ගලා ගිය FDI ප්‍රවාහ සියයට 43කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 728ක් විය. මෙම වර්ධනයට යුරෝපය සහ මූල්‍ය මධ්‍යස්ථාන ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇත.
යුරෝපීය සංගමය තුළ FDI සියයට 56කින් ඉහළ ගොස් ඇති අතර, විශාල දේශසීමා අත්පත් කැර ගැනීම් සහ ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය වැනි ප්‍රධාන ආර්ථිකයන්හි නැවත යථා තත්ත්වයට පත්වීම මෙම වර්ධනයට හේතු වී ඇත.
ඊට ප්රතිවිරුද්ධව, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත FDI ගලායාම සියයට 2කින් අඩු වී ඩොලර් බිලියන 877ක් විය. අඩු ආදායම්ලාභී රටවල් වඩාත්ම පීඩාවට පත් වූ අතර, අඩුම සංවර්ධිත රටවලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයකදී ආයෝජන ප්‍රවාහ එකතැන පල්වීමක් හෝ පහත වැටීමක් දක්නට ලැබුණි.
දත්ත මධ්‍යස්ථාන සහ අර්ධ සන්නායකවලට ආයෝජන වැඩි වෙයි
ප්‍රාග්ධන දැඩි සහ තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපෘතිවල FDI වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වීම වාර්තාවෙන් විශේෂයෙන් ඉස්මතු කරයි. දත්ත මධ්‍යස්ථාන ආයෝජන සඳහා ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය සහ කොරියානු ජනරජය ප්‍රධාන සත්කාරක රටවල් වූ අතර, බ්‍රසීලය, ඉන්දියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි නැගී එන වෙළෙඳපොළවල්ද විශාල ව්‍යාපෘති ආකර්ෂණය කර ගත්තේය.
එමෙන්ම, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද අර්ධ සන්නායක ව්‍යාපෘතිවල වටිනාකම සියයට 35කින් ඉහළ ගොස් ඇත. එයට වෙනස්ව, තීරුබදු වලට නිරාවරණය වූ සහ ගෝලීය වටිනාකම් දාමවලට දැඩි ලෙස සම්බන්ධ අංශවල ව්‍යාපෘති සංඛ්‍යාව සියයට 25කින් තියුණු ලෙස පහත වැටී ඇත. විශේෂයෙන් රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ යන්ත්‍රෝපකරණ අංශ දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ.
යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්ති ආයෝජන දුර්වලයි
ජාත්‍යන්තර යටිතල පහසුකම් ව්‍යාපෘති 2025දී සියයට 10කින් අඩු වී ඇති අතර, මෙයට ප්‍රධාන හේතුව ලෙස පුනර්ජනනීය බලශක්ති ආයෝජනවල තියුණු පසුබෑම සහ ආයෝජකයින් විසින් ආදායම් අවදානම් හා නියාමන අවිනිශ්චිතතාවය නැවත තක්සේරු කිරීම සඳහන් කරයි.
දේශීය ආයෝජකයින් වැඩි වැඩියෙන් මෙම හිඩැස් පුරවමින් සිටියද, ජාත්‍යන්තර මූල්‍යකරණය මත බරපතළ ලෙස යැපෙන රටවලට මෙය විශාල ආයෝජන හිඩැස් ඇති කිරීමේ අවදානමක් ලෙස වාර්තාව අනතුරු අඟවයි.
2026 සඳහා අපේක්ෂාව– අවිනිශ්චිත සහ බිඳෙන සුළු
2026 වසර පිළිබඳව අවධානය යොමු කරන විට, මූල්‍යකරණ තත්ත්වයන් තවදුරටත් ලිහිල් වුවහොත් සහ දේශසීමා ඒකාබද්ධ කිරීම් හා අත්පත් කැර ගැනීම් ඉහළ ගියහොත්, FDI ප්‍රවාහ මධ්‍යස්ථ ලෙස වර්ධනය විය හැකි බව වාර්තාව සඳහන් කරයි.
එහෙත්, භූ-දේශපාලනික ආතතීන්, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය සහ ගෝලීය ආර්ථික ඛණ්ඩනය හේතුවෙන් සැබෑ ආයෝජන ක්‍රියාකාරකම් යටපත් වීමේ අවදානම තවදුරටත් පවතින බවත්, සම්බන්ධීකරණය වූ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග නොමැති නම් ගෝලීය ආයෝජන ප්‍රවාහ අංශ සහ කලාප කිහිපයකට වඩාත් සංකේන්ද්‍රණය විය හැකි බවත් එහි අවසානයේ අවධාරණය කරයි.
( මූලාශ්‍රය : UNTAD )

Chitral Jayawarna
