Impartial news reporting for a stronger democratic society
සුරේෂ් සලේ රඳවාගැනීම ජාත්‍යන්තරයට ! බිරියගෙන් IGPට සහ තානාපති කාර්යාලවලට ඊමේල් ලිපියක් !

ශ්‍රී ලංකාවේ හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ සුරේෂ් සලේ මහතාගේ බිරිය ,පොලිස්පතිවරයා වෙත ලියන ලද අතිශය සංවේදී කරුණු ඇතුළත් ලිපියක පිටපත් මෙරට සිටින විදේශීය තානාපති කාර්යාල වෙත ද ඊමේල් හරහා යොමු කැර ඇතැයි  මේ වන විට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු මෙන්ම ෆාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියකු වන විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)  මඟින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  මේ වන විට ජාත්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතන බව සඳහාන්ය.
තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ලිපි මඟින් හෙළිදරව් වන්නේ, වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන දේශපාලන දඩයමක්, මූලික මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සහ අත්අඩංගුවේ පසුවන නිලධාරියාට එරෙහිව සිදුවන දරුණු මානසික වධහිංසා පිළිබඳ තැතිගන්වන සුළු තොරතුරුය.

ඉහත කරුණු සනාථ කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින තම සැමියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිපාලකයින් සිදුකරන කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිය වන එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය ,2026 මාර්තු 07 වැනි දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් යොමු කැර ඇත.

අත්අඩංගුවට ගැනීම සහ පනවා ඇති දැඩි සීමාවන්

* වසර 35කට අධික කාලයක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට විශිෂ්ට ලෙස සේවය කැර ඇති, විශිෂ්ට සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ සලේ මහතා 2026 පෙබරවාරි 25 වැනි දින අත්අඩංගුවට ගෙන තිබේ.

* ඔහුව 2026 පෙබරවාරි 28  වැනි  දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ඇත.

* රඳවා සිටින සැමියාට නිවෙසින් ආහාර සැපයීමට කළ ඉල්ලීම CID අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කැර ඇත.

* පවුලේ සාමාජිකයන්ට ඔහු බැලීමට අවසර ලබා දී ඇත්තේ සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් වන අතර, ඒ සඳහා ද පොලිස් නිෂ්කාශන වාර්තා ලබා දීම අනිවාර්ය කැර තිබේ.

* නීතිඥ සහාය ලබාගැනීම බදාදා දිනවලට පමණක් සීමා කැර ඇති අතර, ඒ සඳහා පෙර දිනයේ ලිඛිතව ඉල්ලීම් කළ යුතු බව දන්වා ඇත.

අධිකරණ ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතා :

* 2026 මාර්තු 04 වැනි දින, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 35882/24 දරන නඩුවට අදාළව නීතිඥවරුන් විසින් මෝසමක් ගොනු කැර ඇත.

* මෙම නඩු විභාගයේදී, සලේ මහතා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට නිල වශයෙන් දන්වා නොමැති බව මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කැර තිබේ.

* අධිකරණය හමුවේ පෙනී සිටි CID නිලධාරියා (PC 85967) ප්‍රකාශ කැර ඇත්තේ සලේ මහතා කිසිදු නඩුවක සැකකරුවකු ලෙස තවමත් නම් කැර නොමැති බවයි.

* ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන රැඳවුම් නියෝගයක සහතික කළ පිටපතක් පැය 48ක් ඇතුළත අදාළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, CID ය විසින් එවැන්නක් කැර නොමැති බව පෙනී ගොස් ඇත.

නීතිඥ රහස්‍යභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම

* 2026 මාර්තු 04 දින CID විශේෂ ඒකකයේදී පැවති නීතිඥ-සේවාදායක සාකච්ඡාවේදී, නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට මුහුණලා අසුන්ගෙන සංවාදය සහ චලනයන් නිරීක්ෂණය කැර ඇත.

* සාකච්ඡාව පටිගත වන අයුරින් එක් නිලධාරියෙකු ජංගම දුරකථනයක් මේසය මත තබා ඇති අතර, එය ඉවත් කර ඇත්තේ නීතිඥවරයාගේ විරෝධයෙන් පසුවය.

* මෙම සංවාදය අතරතුරදී අදාළ නිලධාරීන් විසින් විමර්ශනයට අදාළ යැයි පවසමින් සංවාදයේ ලිඛිත සටහන් ලබා ගැනීමට කටයුතු කැර ඇත.

කෲර, අමානුෂික සැලකීම් සහ මානසික වධහිංසා

* මාර්තු 04 වැනි දින නීතිඥ හමුවෙන් පසු සලේ මහතාව මීයන්ගෙන් ගහන, අධික උණුසුම් සහ වාතාශ්‍රය නොමැති සිරමැදිරියකට මාරු කර ඇති බව ඔහු සිය සහෝදරයාට පවසා තිබේ.

* මේ තත්ත්වය හේතුවෙන් ඔහුට දරුණු ඉරුවාරදය (migraine) හිසරද තත්ත්වයක් වර්ධනය වී ඇති නමුත්, ඒ සඳහා කිසිදු ඖෂධයක් ලබා දී නොමැත.

* පාපොච්චාරණයක් ලබා දෙන ලෙස බල කරමින් මානසික වධහිංසාවකට සමාන වන පරිදි ඔහුට දැඩි මානසික පීඩනයක් එල්ල කරන බවටද පැමිණිලි කැර ඇත.

විමර්ශනයේ පක්ෂග්‍රාහී බව පිළිබඳ බරපතළ චෝදනා

* පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ 2024 ජනාධිපති කොමිසම් සභා වාර්තාවක් මඟින්, වත්මන් CID අධ්‍යක්ෂවරයා සහ පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා යන දෙදෙනාම වරදකරුවන් බවට තීරණය කැර අපරාධ නඩු පැවරීමට නිර්දේශ කැර ඇති පුද්ගලයින් බව පැමිණිල්ලේ අවධාරණය කැර ඇත.

* වත්මන් CID අධ්‍යක්ෂවරයාට සලේ මහතා කෙරෙහි ඇති පුද්ගලික එදිරිවාදිකම් පෙන්නුම් කරන හඬ පට ද සමාජ මාධ්‍යවල සංසරණය වන බව එහි දැක්වේ.

* මෙවැනි තත්ත්වයක් යටතේ එම පුද්ගලයන්ගේ මඟපෙන්වීම යටතේ මෙම විමර්ශනය සිදු කිරීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට මූලික වශයෙන්ම පටහැනි බව පවුලේ සාමාජිකයන් පෙන්වා දෙයි.

පොලිස්පතිවරයාගෙන් කැර ඇති ප්‍රධාන ඉල්ලීම්

තම සැමියාට සිදුකරනු ලබන කෘර හා අමානුෂික වද හිංසා සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පැමිණිල්ල වෙනුවෙන් පහත පියවර ගන්නා ලෙස සලේ මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි:

1. වත්මන් CID අධ්‍යක්ෂවරයාගේ පාලනයෙන් තොර ස්වාධීන ඒකකයක් මඟින් ප්‍රකාශයක් සටහන් කැර ගැනීම.

2. සලේ මහතා රඳවා තබා ඇති ස්ථානය CID පරිශ්‍රයෙන් වහාම වෙනස් කිරීම.

3. අදාළ විමර්ශනය වෙනත් පොලිස් කොට්ඨාසයකට මාරු කිරීම.

4. ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු (JMO) සහ මනෝ වෛද්‍යවරයකු වෙත කඩිනමින් ඉදිරිපත් කිරීම.

5. මෙම කෲර සහ අමානුෂික සැලකීම්වලට වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම.

මෙම පැමිණිල්ලේ පිටපත් ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක  ඇමැතිවරයා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ  අමෙරිකාව, චීනය, ජපානය ඇතුළු මෙරට පිහිටි විදේශීය තානාපති හා මහ කොමසාරිස් කාර්යාල වෙත යොමු කැර ඇත.

(Source -The Leader)
(විශේෂ වාර්තාකරුවකු විසිනි )

Follow by Email
LinkedIn
Share
WhatsApp