Impartial news reporting for a stronger democratic society
“සුඛන්‍යා”  සහන අරන් නැඟෙනහිරට එයි

ජල ගැලීම්වලින් විපතට පත්  නැඟෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් “සුඛන්‍යා” (INS Sukanya ) නැමැති ඉන්දියානු නාවික නෞකාව ඊයේ  (01) ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව ඉන්දීය නාවික  නෞකාව පිළිගනු ලැබූ අතර, ආණ්ඩුව වෙනුවෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍රා මහතා මෙම අවස්ථාවට එක් විය.

මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මාවිල්ආරු අමුණ කැඩී යැමෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා තවත් සහනාධාර තොගයන් ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය වෙත එවනු ලැබූ අතර, නැඟෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් නාමල් තලංගම අතිරේක දිසාපති එස්. සුදාකරන් යන මහත්වරු එම ආධාර තොගය දිසාපති කාර්යාලයේදී නිල වශයෙන් බාරගනු ලැබූහ.

නිල වශයෙන් භාරගත් මෙම සහනාධාර තොගය විපතට පත් ජනතාව වෙත බෙදා හැරීම සඳහා ගුවන් මගින් වෙරුගල්, සේරුනුවර සහ මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට යවනු ලැබූ බව අතිරේක දිසාපති එස්. සුදාකරන් මහතා පැවසීය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සහන කටයුතු සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මෙම කටයුතු සඳහා යොදාගත් අතර අර්බුදකාරී අවස්ථාව තුළ මෙහෙයුම් කටයුතු සඳහා පමණක් ගුවන් හමුදාව මෙම යානාව යොදා ගත්තද, මෙම යානය  ප්‍රභූ රාජකාරී සඳහා පමණක් භාවිතා කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය  ඇමැති අරුන් හේමචන්ද්‍රා  මහතා පැවසීය.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp