
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිය – පුතු දෙදෙනා ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙළේය.
ඒ, සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම චෝදනාවට අදාළව හිටපු ඇමැතිවරයාගේ තවත් පුත්‍රයකු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවකු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යොදවා තිබීමෙන්, රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට හිටපු ඇමැතිවරයා සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් දී තිබුණි.
ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වැනිදා කුරුණෑගලදී අත්අඩංගුවටගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු සහ මෙම සිදුවීමට අදාළව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට ඊයේ (04) අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තා ද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මෙවන් පසුබිමක ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබු අතර, එසේ නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබා ගන්නා බවද පොලීසිය හිටපු ඇමැතිවරයාට දැනුම් දී තිබුණි.
ඒ අනුව හිටපු ඇමැතිවරයා සහ ඔහුගේ පුත්‍රයකු වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු අද(05) පෙරවරු 8.40ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
එහිදී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අනතුරුව අද පස්වරුවේ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙළේය.
