Impartial news reporting for a stronger democratic society
සංඝ සභාව පැවැත්විමට පෙර ඇමැති සුනිල් සෙනෙවි සාකච්ඡාවකට වේලාවක් ඉල්ලයි

අද (20)කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇති  විශේෂ සංඝ සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආගමික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, එහි ප්‍රධාන සංවිධායක මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් වේලාවක් ඉල්ලා ඇති බව  අනාවරණය වෙයි.
මෙයට පෙර අවස්ථාවලදී ද  ඇමැතිවරයා උන්වහන්සේ මුණගැසීමට අවසර ඉල්ලා තිබුණ ද, මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටීම හේතුවෙන් එම හමුවීම් සිදු නොවීය.

ඇමැතිවරයා පසුගිය සතියේ දිනක නාරාහේන්පිට අභයාරාමයට ගොස් උන්වහන්සේ වැඩසිටින්නේ දැයි විමසා බලා තිබුණ ද, එහිදී ද උන්වහන්සේ මුණගැසීමට අවස්ථාවක් ලැබී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ද තමාට දුරකථන ඇමැතුමක් ලබාදෙමින් මෙම සංඝ සභා රැස්වීම පිළිබඳව විමසා සිටි බවයි.

සංඝ සභාවට 2,500ක නියෝජනයක්

පසුගියදා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි  මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් යළි අභයාරාමයට වැඩමකර ඇති අතර, පෙබරවාරි 20 වැනිදා සවස 2 කට බුලර්ස් පාර බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ සංඝ සභාව සැලසුම් කළ පරිදිම පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කැර ඇතැයි වාර්තාවේ.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා දෙදහස් පන්සිය නමකගේ සහභාගිත්වය අපේක්ෂා කෙරේ.

සහභාගී වන ප්‍රමුඛ මහා සංඝරත්නය

ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි, නිකපිටියේ චන්ද්‍රජෝති මහ නා හිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමි සහ වෙඩරුවේ උපාලි අනු නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මීට වැඩම කිරීමට නියමිතය.

එසේම, සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි, මහාචාර්ය අගළකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ තිනියාවල පාලිත හිමි ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ විද්වත් භික්ෂූන් වහන්සේලා රැසක් මේ සඳහා සහභාගී වනු ඇතැයි සඳහන්වේ.

(Source- lankalokaya)

Follow by Email
LinkedIn
Share
WhatsApp