
මුලික කොන්දේසි තුනක් යටතේ සිය ජනතාවට සේවය කිරිම සඳහා ලබන දෙසැම්බරයේදී නැවත බංග්ලාදේශයට පැමිණෙන බව එරට හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දියාවේ සිට ප්‍රකාශ කළ බව Cyber World Press සඳහාන් කරයි.

වසර 2024 අගෝස්තු මුල් භාගයේදී බංග්ලාදේශයේ සිදු වූ ශිෂ්‍ය අරගලයත් සමඟ ඇගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසු ඉන්දියාවට පළා ගිය ශෙයික් හසීනා නවදිල්ලි නුවර දකුණු ආසියානු වාර්තාකරුවන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ බව Cyber World Press සඳහාන් කරයි. එම මාධ්‍ය හමුවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ඇති ඇය සඳහන් කැර ඇත්තේ නැවත සිය රටට පැමිණ ජනතාව වෙනුවෙන් සේවය කිරිමට යළි සැලසුම් කැර ඇති බවය.
ශිෂ්‍ය විරෝධතාව මැඬ පැවැත්වීමට වෙඩි තබන ලෙස ආරක්ෂක හමුදාවට නියෝග කිරිමේ චෝදනාව ඇතුළු තවත් චෝදනා රැසකට වරදකරු වී මේ වන විට බංග්ලාදේශයේ විශේෂ අධිකරණයකින් මරණ දඬුවම නියම වී සිටින 78 හැවිරිදි හිටපු අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කැර ඇත්තේ වත්මන් රජය සිය පොරොන්දු ඉටු කිරිමට අසමත් වී ඇති බවයි. බංග්ලාදේශය නැවත දේශපාලන අස්ථාවරභාවයකට පත්වී ඇති බවත්, සිය රට වැසියන් පීඩාවෙන් පසුවෙද්දී රටින බැහැරව සිටිය නොහැකි බවත් ඇය සඳහන් කැර තිබේ.
බංග්ලාදේශයේදි තමා අත්අඩංගුවට පත්වීමේ සහ සිරගත වීමේ අවදානම තිබියදීත් මේ තීරණය ගත් බව ඇය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කැර ඇති අතර, සිය පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් නැති බවත් සඳහන් කැර තිබේ.
‘මාව ඝාතනය කරන්න 19 වතාවක් උත්සාහ කළා. නමුත් මම මගේ අනාගතය ගැන වද වෙන්නේ නෑ. මම වද වෙන්නේ බංග්ලාදේශයේ අනාගතය ගැනයි. ජනතාවට නැවත ආරක්ෂාව, සංවර්ධනය, සමෘද්ධිය හා සාමය හිමිවිය යුතු නිසා මට නැවත බංග්ලාදේශයට පැමිණීමට අවශ්‍යයි.‘ ඇය එසේ ප්‍රකාශ කළ බව Cyber World Press සඳහාන් කරයි.
බංග්ලාදේශ රජය අවාමි ලීග් පක්ෂයේ තහනම ඉවත් කළ යුතු බවත්, දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවත් හිටපු අගමැතිනිය ප්‍රකාශ කර ඇති අතර, සිය වසර 16ක පාලනය අවසන් කළ ශිෂ්‍ය විරෝධතාවකින් පසුවත් බංග්ලාදේශය නැවත ආපස්සට ගමන් කරමින් සිටින බව සඳහන් කැර තිබේ. සිය පියාගේ මූලිකත්වයෙන් 1971 විමුක්ති අරගලය සිදු වූ දෙසැම්බරය සිහිපත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ දෙසැම්බර් යනු ඇගේ පවුලේ ජයග්‍රාහී මාසයක් බවයි. එබැවින් යළි සිය රට බලා පැමිණීමට දෙසැම්බර් මාසය තෝරාගත් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
මේ අතර ශෙයික් හසීනාට මාධ්‍ය හමුවක් පැවැත්වීමට අවසර ලබා දීම සම්බන්ධව බංග්ලාදේශයේ විදේශ අමත්‍යාංශයෙන් ඉන්දියාවට චෝදනා එල්ල කැර ඇති අතර, එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ පෞද්ගලිකව පැවැත්වූ එම මාධ්‍ය හමුවට ඉන්දීය රජයේ කිසිදු සම්බන්ධතාවක් හෝ මැදිහත්වීමක් සිදු නොවූ බවයි.( දිණමිණ ඇසුරෙන්)
