
දකුණු කොරියාවේ ජනගහන පහත වැටීමට මුහුණ දීම සඳහා විදේශ රටවලින් කාන්තාවන් “ආනයනය කිරීම” පිළිබඳ මතභේදාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාර කිම් හී-සූ නෙරපා හැරීමට පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂය ( Democratic Party – DP) පසුගිය සඳුදා (09) තීරණය කැර ඇති බව අනාවරණය වෙයි.
කිම් හී-සු ඔහුගේ අපහාසාත්මක ප්‍රකාශ හේතු කොට ගෙන ඔහු නෙරපා හැරීමට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ උත්තරීතර කවුන්සිලය ඒකමතිකව ඡන්දය දුන් බව එහි ප්‍රකාශක Park Soo – hyun වාර්තාකරුවන්ට පවසා ඇත.
දකුණු කොරියාවේ ග්‍රාමීය ජනගහන අර්බුදය විසඳීම සඳහා “ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණියන් ආනයනය කළ යුතු” බවට යෝජනා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කෝපයක් ඇති කිරීමෙන් පසු ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ සමාව ගෙන තිබියදී මෙම නෙරපා හැරීම සිදු කැර ඇත..
ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ මෙම මතභේදාත්මක ප්‍රකාශ කැර ඇත්තේ පසුගිය බදාදා (04) දකුණු කොරියාවේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදීය.
එහිදී ප්‍රාදේශීය නායකයන් ග්වාංජු නගරය සහ දකුණු ජෙයෝල්ලා පළාත අතර යෝජිත පරිපාලන ඒකාබද්ධ කිරීමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතරතුරය.
මෙහි දී කතා කළ කිම් මෙසේ ද ප්‍රකාශ කැර ඇත.
මෙම කලාපයේ දිස්ත්‍රික්කවලින් සියයට 20කට තර්ජනයක් වන “ජනගහන වඳවීම” ආපසු හැරවීමට ඒකාබද්ධ කිරීමේ උත්සාහයන් ව්‍යවස්ථාදායක පියවරයන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි. “එය එසේ නම්, ග්‍රාමීය තනිකඩයින්ට විවාහ විය හැකි වන පරිදි අපි ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි ස්ථානවලින් තරුණයන් ආනයනය කළ යුතුය. මිනිසුන් නොමැති විට කර්මාන්තය නැවත පණ ගැන්වීමේ තේරුම කුමක්දැයි” කිමි තර්ක කැර ඇත.
යූ ටියුබ් නාලිකාවක මෙම රැස්වීම සජීවීව විකාශය වූ අතර, කිම් ගේ කතාව ලොව පුරා පැතිර ගියේය.

ග්වාංජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් සංසදය අතරතුර ප්‍රකාශය වහාම අභියෝගයට ලක් කරමින්, විවාහය සඳහා පුද්ගලයින් “ආනයනය කිරීමේ” අදහස “නුසුදුසු” සහ “නොමඟ යවන ලද” ලෙස ලේබල් කෙළේය.
ආණ්ඩුකාරවරයාගේ අදහස්, මානව හිමිකම් උපදේශකයන් සහ සහභාගී වූවන්ගේ, කඩිනම් හෙළා දැකීමට ලක් වූ අතර, ඔවුන් විදේශීය කාන්තාවන් වෛෂයිකකරණය කිරීම සහ බහු සංස්කෘතික ප්‍රජාවන් නොසලකා හැරීම ගැන විවේචනය කළහ.
විචාරකයන් සඳහන් කෙළේ භාෂාව මිනිසුන් වෙළෙඳ භාණ්ඩ බවට පත් කළ බවත්, සංක්‍රමණිකයන් ශ්‍රමය හෝ ජනවිකාශ මෙවලම් ලෙස පමණක් සලකන ඉදිරිදර්ශනයක් හෙළි කළ බවත්ය.
පසුගිය (05) බ්‍රහස්පතින්දා කිම් ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා තිබේ. “මගේ ප්‍රකාශවලින් රිදුණු අයගෙන් සමාව ගන්නවා. ග්‍රාමීය ජනගහනයේ ව්‍යුහාත්මක තත්ත්වය ගැන අවධාරණය කිරීමට මා උත්සහ කළා.”
විදේශීය පදිංචිකරුවන්ගේ “ප්‍රවාහය” වැඩි කිරීම සඳහා ආයතනික සහයෝගය සාකච්ඡා කිරීමට උත්සාහ කරන අතරතුර “ආනයනය” යන යෙදුම භාවිතා කළ බව කිම් පිළිගත්තේය.
“මෙම ප්‍රකාශය කිසි විටෙකත් නිශ්චිත රටවල් හෝ පුද්ගලයන් පහත් කොට සැලකීමට හෝ වෛෂයික කිරීමට අදහස් නොකළ” බව ද කිම් සමාව ගනිමින් ප්‍රකාශ කැර ඇත.

සංක්‍රමණය සහ බහු සංස්කෘතිකවාදය පිළිබඳ අනාගත සාකච්ඡාවලදී “වඩාත් ප්‍රවේශම් සහගත සහ නිවැරදි භාෂාව” භාවිතා කිරීමට ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ ප්‍රතිඥා දුන් බව සඳහාන් වෙයි.
එසේ ප්‍රතිඥා දී තිබිය දී ඊට ප්‍රතිචාර වශයෙන්, සෝල් හි වියට්නාම තානාපති කාර්යාලය කිම්ගේ ප්රකාශයන්ට දැඩි විරෝධය පළ කරමින් පළාත් කාර්යාලයට දීර්ඝ ලිපියක් යවා ඇති බව ද සඳහාන් වෙයි.
දකුණු ජෙයෝල්ලා පළාත කාර්යාලය මීට පෙර කියා සිටියේ, වියට්නාම තානාපති කාර්යාලයට සහ වියට්නාම රජයට කිම්ගේ “නුසුදුසු ප්‍රකාශ” නිසා “දැඩි ලෙස සිත රිදුණු” වියට්නාම ජනතාවගෙන් සහ කාන්තාවන්ගෙන් සමාව අයැද සිටින බවයි.
(Kyodo News – Japan and Cyber World Press -Franc)
