Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකා – චීනආර්ථික සම්බන්ධතා  සහ වත්මන් ජනාධිපතිගේ  දිව දෙකේ  කතා

ශ්‍රී ලංකාව චීනය සමග රාජ්‍ය මට්ටමේ සම්බන්ධතා පවත්වන්නේ ඈත අතීතයේ පටන් ය.විශේෂයෙන් බුදු දහම සහ වෙළෙදාම පදනම් කැර ගනිමින් දෙරට අතර සබදතා  ගොඩනැගුන බව ඉතිහාස කරුණුවලින් පෙනී යයි.

මෑත අතීතයේ ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පැවති සම්බන්ධතා අතර සුවිශේෂී සලකුණක් වන්නේ දෙරට මැදිහත්ව 1952 දී එළඹුණු රබර්-සහල් ගිවිසුම යි.එහිදී ශ්‍රී ලංකාවේන් චීනය වෙත රබර් යවා චීනයෙන් සහල් ලබා ගන්නා ලදී.1957 දී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාවර විය.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා චීන ආධාර ලබා දීම ආරම්භ වී ඇත්තේ, 1970 මුල් භාගයේ සිටය. එයින් ඇරඹුණු චීන ආධාර සහ ණය මේ වන විට ශ්‍රී ලංකාවේ ණය පංගුවෙන් වැඩි ම කොටසට හිමිකම් කියයි.

චීන ණය යෙදවූ  අංශ මොනවා ද?

චීනයේ ණය මුදල් යෙදවීමෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 5ක් යටතේ වෙන් කැර දැක්විය හැකි ය.

  • මහා මාර්ග සහ ප්‍රවාහන
  • විදුලි බල හා බලශක්ති
  • වරාය
  • වාරිමාර්ග සහ ජල සැපයුම්
  • ගුවන් තොටුපොළ

චීනයේ ගෝලීය ක්‍රියාකාරීත්වය

අමෙරිකාව සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා හරින බව නවතම සාක්ෂි අනුව පෙනී ගොස් තිබේ.එයින් වැඩි ප්‍රමාණයක් චීන රාජ්‍ය බැංකුවලින් ණය ලෙස අධික පොළී අනුපාත යටතේ ලබා දී ඇත.මින් කෙටි කලකට පෙර චීනය විදේශ ආධාර මත යැපුණ ද, දැන් ඒ සියල්ල කණපිට පෙරළී තිබේ.වසර 18ක කාලයක් තුළ රටවල් 165ක අමෙරිකානු ඩොලර් බිලියන 843ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති 13,427කට චීනය මුදල් ලබා දී හෝ ණය ලබා දී තිබෙන බව අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්වවිද්‍යාලයේ Aid Data පර්යේෂණාගාර දත්තවලින් හෙළි වී ඇත.

මේ අතර, චීනයේ ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය'(BRI) ශ්‍රී ලංකාව ඇතුළු රටවල් “ණය උගුලක” පටලවීමට ගන්නා උත්සහයක් ලෙස ද ඇතැම් විශ්ලේෂකයන් සැක පළ කැර තිබේ. මේ අතර එදා විපක්ෂයේ  සිටි ජනතා විමුක්ති පෙරමුණ (JVP) මෙම ණය උගුල පිළිබදව උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ ශ්‍රී ලංකාව පුරා පැවැත් වු බව අමතක නොකළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ඒ් විරෝධතාවලට එරෙහි වීමට එදා  කොන්දක් හා ශක්තියක් තිබුණේ ශ්‍ී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයට පමණි.ඒ් ඔවුන්  ශ්‍රී ලංකා  -චීන  සබදතා ශත්තිමත් කරන්නට දිරිඝ ඉතිහාසයක සිට කැප වු නිසාය.

 එක් මාවතක්, එක් තීරයක්  (BRI)

2012 වසරේදී බලයට පත් වූ දා සිට, ජනාධිපති ෂී ජින්පින්ග් චීන නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළ පුළුල් කිරීම සහ රටට ගෝලීය වශයෙන් ඇති බලය ඉහළ නැංවීම සඳහා ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය’ ප්‍රවර්ධනය කළ   බව කිවයුතුය. චීන රජය සතු ව්‍යාපාර, චීනය අපනයනය මඟින් රැස් කරන අරමුදල් ආයෝජන කැර මුදල් සෙවීමට සහයෝගයෙන් කටයුතු කැර ඇත. ඒවා එක්ව ගෝලීය දකුණේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ද අනුමැතිය ලබා දී ඇත.

‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය'(BRI)   යටිතල පහසුකම්වලින් ඔබ්බට යමින්, ඩිජිටල් තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ තිරසර සංවර්ධනය ද ඇතුළත් කිරීමට එහි අරමුණ පුළුල් කැර ගෙන තිබේ. නමුත් අද ඇතැම් බටහිර රටවල්   ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය'(BRI)  දුප්පත් රටවල් විනාශ කරන්න ගෙනා  වැඩ සටහනක් ලෙස හුවා  දක්වයි.  නමුත් නිල දත්තවලට අනුව චීනය ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ ‘ කොටසක් ලෙස ව්‍යාපෘති 3,000කට වැඩි ගණනක ආයෝජනය කැර ඇත.ඉන්දුනීසියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, සෞදි අරාබිය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, පේරු, ලාඕසය, ඉතාලිය, නයිජීරියාව, ඉරාකය, ආර්ජන්ටිනාව සහ චිලී යනු අරමුදල් ලැබෙන ප්‍රමුඛ රටවල් 15 බව අමෙරිකානු ව්‍යවසාය ආයතනය (American Enterprise Institute) පවසයි.

ගෝලීය ආර්ථික මන්දගාමීත්වය, ඉහළ යන පොළී අනුපාත සහ ඉහළ උද්ධමනය නිසා ඇතැම් රටවල චීන ණය ආපසු ගෙවීමේ දුෂ්කරතා තීව්‍ර වී තිබේ. ඩොලර් බිලියන ගණනක ණය ගෙවීම් අකර්මණ්‍ය වී ඇති අතර සංවර්ධන ව්‍යාපෘති ද මඟ නැවතී ඇත.2022 වසරේදී ශ්‍රී ලංකාව  බංකොලොත් රාජ්‍යයක් බව ප්‍රකාශ වීමත් සමග ,ශ්‍රී ලංකාවේ චීන යෝජනා  බොහෝමයක් අතර මග නැවතිනි. තවත් බොහෝ ව්‍යාපෘතිවලට  විවේචනය එල්ල විය. 

එමෙන් ම මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ද චීන සමාගම් විසින් ද සිදු කරනු ලබයි. 2023 වසරේදී කොළඹ වරාය නගරයට චයිනා හාබර් ඉන්ජිනේරු සහයෝගීතාව විසින් සිදු කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සම්බන්ධයෙන් බී.බී.සී (BBC) සිංහල සේවයට  වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා  ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ  පවසා ඇත.

 ” චීන ආයෝජනයෙන් අපිට කිසිම වක්‍ර ප්‍රතිලාභයක් නැහැ. චීනය එනකොට අපි දැකපු දෙයක් තමා, ඒ මිනිස්සු වාහන ටික ගේනවා. කම්කරුවෝ ගේනවා. සිගරට් එක, ටොයිලට් පේපර් එක පවා ගේනවා. ඒක රටේ ආර්ථිකයට කිසි ම ආකාරයකින් මුදල් කාන්දුවීමක් සිද්ධ වෙන්නේ නැහැ චීන අයෝජනය තුළ. ඒ වගේ එකකින් අපි හිතනවා නම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා මම හිතින්නේ නැහැ. අපි මේ තැනට පත්වුණේ චීන අයෝජනය නිසා බව අපි මතක තියා ගන්න ඕනේ. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න කියන්න ඕනේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල්වලින්.”  

 සජිත් ප්‍රේමදාස  මහතාගේ මාධ්‍යය උපදේශකවරයා ,2025 ජනවාරි මාසයේ  සමගි ජන බලවේගයේ (SJB)  ප්‍රදේශීය දේශපාලන ක්‍රියාකාරීන් සදහා පැවැති  වැඩමුළුවකදී  මෙසේ ප්‍රකාශ කැර ඇත.

   “ චීන ආයෝජන දැන් රට පුරාම තිබෙනවා. වැඩි කලක් යන්න පෙර ප්‍රශ්න රැසක් රට තුළ මතුවෙනවා. සුද්දා  එලෙව්වා වගේ චීනා එලවන්න අපට   සිදු වෙනවා.එකට  සූදානම් වන්න.” 

“ චීනය අපේ රට ණය උගුලකට දමා තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමෙන් පසු   හම්බන්තොට  වරාය 99 වසරක බදු පදනම මත චීනයට පවරා ගත්තා.“

වත්මන් ජනපති මීට පෙර චීන ආයෝජන ගැන කිව්වේ මොනවා ද?

වරාය නගරය ඇතුළු චීන ආයෝජන මත සිදු කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් වර්තමානයේ පාලන බලය හිමි කැර ගෙන සිටින ජාතික ජන බලවේගයේ(NPP) ප්‍රධාන පාර්ශ්වයක් වන ජනතා විමුක්ති පෙරමුණ(JVP) මෙයට වසර කිහිපයකට පෙර ඍජුව සිය විරෝධය පළ කෙළේ ය.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක 2015 පෙබරවාරි 8 වැනි දින තංගල්ලේ පැවති ජන රැළියකදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් මෙසේ පැවසුවේය.

“ලංකාවේ පළවැනි වතාවට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575ක් චීනට ගොඩ කරලා චීන දුපතක් හදන්න දුන්නා. අපේ රටේ කුඹුරක් ගොඩකරන්නත් නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩකරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මුහුද ගොඩකරන්න නීතියක් නෑ,” “පළමුවෙන් ම රටේ මුහුද ගොඩනගා ගන්නවා නම් නීතියක් හදාගන්න ඕනේ. පර්යේෂණ වාර්තාවක් හැදුවේ නෑ. අක්කර 575ක් ගොඩට එන්න පතුලේ අක්කර 1000ක්වත් තියෙන්න ඕනේ. ගල් විතරක් කියුබ් කෝටි 12ක් ඕනේ . රාජිත සේනාරත්න කිවුවා , මේ ව්‍යාපෘතිය දිගට ම කර ගෙන යනවා කියලා. ඕකට  නොවෙයි රාජපක්ෂලා පරාජය කළේ. මහා මුහුද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා වන බලපෑම ජනතා විමුක්ති පෙරමුණ (JVP) විදිහට අපි සිදු කරනවා,” යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා 2015දී තංගල්ලේ පැවති ජන රැළියකදී  මෙම අදහස්  පැවසුවා.

2021 වසරේ අප්‍රේල් 16 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී   එවකට   විපක්ෂයේ  සිටි ,වත්මන් ජනාධිපතිවරයා චීන ආයෝජන සම්බන්ධ විරෝධය පළ  කරමින් මෙසේ  පවසා ඇත.

” චයිනා හාබර් සමාගමේ ඉල්ලීම සහ ඔවුන්ගේ බලකිරීම මත තමයි ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සිදු කරන්නේ. මෙම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයට අනුරූපීව පිහිටුවන්නක් නොවෙයි. චීනයේ ජාත්‍යන්තර, ආර්ථික, දේශපාලන  වුවමනාවන් පෙළ ගැහීමක් ලෙස තමයි ආර්ථික කොමිෂන් සභාව යෝජනා වෙන්නේ,” ඔහු එහිදී පැවසී ය.

“චීනය තමාගේ භූ දේශපාලනික උපාය මාර්ගය වෙනුවෙන් සකස් කරපු ව්‍යාපෘතියකට තමයි මේ පනපොවන්න හදන්නේ,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

කෙසේ නමුත් දෛවෝපගත ලෙස එලෙස වසර කිහිපයකට පෙර විරුද්ධ වූ ව්‍යාපෘති වන ‘එක් මාවතක්, එක් තීරයක් ‘ (BRI) යටතේ සිදු කරන කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති දිගටම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුර චීන සහ ශ්‍රී ලංකා රජයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබෙනවා.

මෙම තත්ත්වය සලකා බලන විට පැහැදිලි වන්නේ කුමක්ද?. ජනතා විමුක්ති පෙරමු‌ණ (JVP)  සහ සමගි ජන බලවේගය (SJB) මතුපිටින් චීනයට  පක්ෂපාතී වුවත්, තම දේශපාලන කාඩර්වරුන් චීන විරෝධී ප්‍රතිපත්තියක් වෙත  තල්ලු කැර ගෙන යෑමක් නොවේද යන්න ඇසිය යුතුය.

විශේෂ දේශපාලන වාර්තාකරු