Impartial news reporting for a stronger democratic society
විවිධ නම් භාවිතා කර රට පැන්න පාතාලයේ 26 ගැන විමර්ශන කඩිනම් කරන්න! -කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

විවිධ නම් භාවිතා කරමින් විදේශගතව සිටින බවට හඳුනාගෙන ඇති පාතාල සාමාජිකයන් 26 දෙනාට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කැර අධිකරණයට වාර්තා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ (26) නියෝග කළේය.

එම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් සිදු කළ කරුණු දැක්වීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කෙළේය.

එම විමර්ශනයට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඇඟිලි සලකුණු සටහන් වාර්තා කිහිපයක් ඇඟිලි සටහන් කාර්යාලයට යොමු කළ බවත්, මේ වනවිට වාර්තා දෙකක් පමණක් ලැබී ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

26 දෙනෙක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ වාර්තා දෙකක් පමණක් ලැබී ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර, ඇඟිලි සටහන් කාර්යාලයට එම වාර්තා 26ම යොමු කළා ද යන්න ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේය. එහිදී පොලීසිය කියා සිටියේ, එම 26 දෙනාට අයත් වාර්තාවලින් කිහිපයක් පමණක් යොමු කැර ඇති බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරියා කාර්යබහුල වීම මත කිහිපයක් පමණක් යොමුකර ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර, ඉදිරි දින සියලු වාර්තා යොමු කර අධිකරණයට වාර්තාවක් ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වෙනත් පුද්ගලයන්ගේ නම් හා ඡායාරූප භාවිත කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන විදේශගතව ඇතැයි සැකකෙරෙන පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම නියෝග නිකුත් කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන මැයි මස 04 කැඳවන ලෙසත් එදිනට වාර්තා ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග  කෙළේය.

(දිනම්ණ ඇසුරෙන්-සුභාෂිණී සේනානායක)

Follow by Email
LinkedIn
Share
WhatsApp