
ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මිය යෑම ගැන ලංකා විදුලි බල මණ්ඩලය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව ගලහා පොලිසියේ ඉහළ නිලධාරියකු පවසා තිබේ.
පෙරේදා (07) උදෑසන 10.00 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කෙළේය.
කරපිංචා ගසක කරපිංචා කඩමින් සිටියදී, බිම වැටී තිබූ විදුලි රැහැනක මව සහ දියණිය ගැටීම හේතුවෙන් මෙම දෙදෙනාට විදුලි සැර වැදී මරණ සිදුව ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි දියණියක් බව පොලීසිය පවසයි.
දිට්වා සුළි කුණාටුව නිසා කැඩි ගිය විදුලි කම්බියක් නිසි ලෙස විසන්ධි නොකර බිම දමා යෑමෙන් මෙම අවාසනාවන්ත මරණ සිදු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ගලහා පොලීසිය පවසයි.මෙම සිද්ධියෙන් පසු එතනට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයන් විදුලි කම්බිය විසන්ධි කැර,පසුව එය ද කැලයට විසි කැර දමා ගොස් ඇති බව අනාවරණය වෙයි.
දිට්වා සුළි කුණාටුව සිදු වී මාස දෙකක් යන තුරු මෙම විදුලි කම්බිය විසන්ධි කැර නොතිබීම අද කාගෙත් කතාබහට ලක් වී ඇති සිද්ධියකි.
