
පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගිය දා සම්මත කැර ගත් 27 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කරච්චි නගරයේ නීතිඥවරු සින්ද් ප්‍රාන්තයේ මහාධිකරණ පරිශ්‍රයේදී විරෝධතාවක නිරත වූ බව ඩෝන් පුවත් සේවය පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කරමින් සහ පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර්ගේ බලතල ඉහළ නංවමින් සිදු කළ ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියා පිළිවෙතට එරෙහිව මෙම විරෝධතාව පවත්වා තිබේ.
පොලිස් විරෝධතා මැඬපවත්වමින් මහාධිකරණ භූමියට ඇතුළු වූ නීතිඥවරු එහිදී ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විරෝධතාවක නිරත වූ බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.
පාකිස්තාන ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය අභියෝගයකට ලක්වී ඇති බවත්, ව්‍යවස්ථාමය ව්‍යූහය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කැර ඇතැයි ද විරෝධතාකරුවන් ප්‍රකාශ කැර ඇත.
එරට 27 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකු පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කිරීමකට ලක් කැර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයක් පැවැත්වීම සඳහා අධිකරණ සමුළුවක් කැඳවන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කැර ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳහන් කෙළේය.
