
දකුණු, නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවට එකම කාලසීමාවක කඩාවැදුණු දිට්වා, සෙන්යාර් සහ කෝටෝ සුළි කුණාටු ත්‍රිත්වය සිදු කළේ මහා ව්‍යසනයකි. මේ නිවර්තන සුළි කුණාටු ඉතිහාසය පුරා වරින් වර නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවේ ජන ජීවිත උඩුයටිකුරු කළ අවස්ථා එමටය. සුළි කුණාටු ඉතිහාසය හාරා ඇවිස්සීමේදී ලෝක ක්‍රිකට් ඉතිහාසයේද ලියවී ඇති විනාශකාරි සුළි කුණාටුවක් මීට වසර 133කට පෙර තායිවන අර්ධද්වීපයේ සිදු වූ බවට තොරතුරු සොයාගත හැකිය.
ක්‍රිකට් කණ්ඩායමක් සුළි කුණාටුවකට ගොදුරු වූ පළමු හා එකම අවස්ථාව ලෙස එය ක්‍රිකට් ඉතිහාසයට එක් වී ඇත. කුණාටුවට හසු වූයේ චීනයේ ෂැංහායි ක්‍රිකට් කණ්ඩායම සමඟ වාර්ෂික දෙදින තරගයට සහභාගි වීමෙන් පසු නැවත හොංකොං දේශය බලා නැව්ගත වූ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමය. එදා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ෂැංහායි පිල ලකුණු 112කට දවාලීමට හොංකොං පන්දු යවන්නන් සමත් වුවද, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ හොංකොං පිලට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 78ක් පමණි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ෂැංහායි ක්‍රීඩකයන් ලකුණු 202ක් රැස් කළ අතර, ජයග්‍රහණය සඳහා හොංකොං පිලට හිමි වූයේ ලකුණු 236ක දැවැන්ත ඉලක්කයකි. එහෙත් ෂැංහායි පිලේ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ හොංකොං පිතිකරුවෝ ලකුණු 79කට දැවී ගියහ. හොංකොං පිලේ පළමු ඉනිමෙන් කඩුලු 5ක් උදුරාගත් ඒ.ජී.එච්. කර්තර්ස් දෙවැනි ඉනිමේදී තවත් කඩුලු 8ක්ම බිඳදැමුවේය. ෂැංහායි පිල හමුවේ ලකුණු 157ක පරාජයක් උරුම කරගත් හොංකොං ක්‍රීඩකයන් පරාජයේ වේදනාවත් තුරුලු කරගනිමින් නෞකාවට ගොඩ වූයේ සිය ඉරණම සොයා ගිය ගමනට බව කිසිවකු දැන සිටියේ නැත.

එදා හරියටම 1892 ඔක්තෝබර් 8 වැනිදා හොංකොං ක්‍රිකට් කණ්ඩායම ඇතුළු මඟීන් 148 දෙනකු සමඟ ෂැංහායි වරායෙන් මහමුහුදට සේන්දු වූ බොකාරා වාෂ්ප නෞකාව නිරුපද්‍රිතව පළමු දිනය ගෙවාදැමූ අතර, මහමුහුද සන්සුන් වූයේ ඊළඟ දිනය වන තුරු පමණි. ඔක්තෝබර 9 වැනිදා බොකොරා නෞකාව හඹා ගිය සුළි කුණාටුව ටොන් 2,900ක් බරැති මේ යාත්‍රාව දැවැන්ත ගල්පරයක් දක්වා වේගයෙන් ඇදගෙන ගියේ අනුකම්පා විරහිතවය. නෞකාව ගල්පරයේ ගැටී බිඳීයෑමටත්, අනතුරුව මුහුදුබත් වීමටත් ගත වූයේ මිනිත්තු 2ක් පමණි. මේ අනපේක්ෂිත සිදුවීමෙන් නෞකාවේ සිටි හොකොං ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් 13 දෙනාගෙන් 11 දෙනකුටම දිවි අහිමි වූ අතර, තවත් මඟීහු 114 දෙනෙක්ද මහමුහුදට බිලි වූහ.
ඊට පසු දින චීන ජාතික ධීවර පිරිසක් විසින් මුදාගනු ලැබූ තුවාලකරුවන් පසුව රෝහල්ගත කෙරුණු අතර, නැවත හොංකොං දේශයට සේන්දු වූ දිවි බේරාගත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ වෛද්‍ය ජේම්ස් ලෝසන් සහ යුද හමුදා ලුතිනන් එෆ්.ඩි.මාකාම් පමණි. කණ්ඩායමේ නායකත්වය දැරූ එවකට එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිලේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු වූ ජෝන් ඩන් ද මේ අනතුරින් ජීවිතක්ෂයට පත් විය.
සුළි කුණාටු ඛේදවාචකය නිසා බිඳවැටුණු හොංකොං දේශයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැඟීමට වසර 6ක් ගත වූ බව කියවේ. සුළි කුණාටු ඛේදවාචකයෙන් මියගිය ක්‍රීඩකයන්ට ගෞරව කිරීමට හොංකොං දේශයේ ස්මාරකයක්ද පසුව ඉදි වූ අතර, අනතුරුව නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පසු හොංකොං සහ චීනය අතර වාර්ෂික ක්‍රිකට් තරගය නම් කරනු ලැබුවේ ‘බොකාරා බෙල් අනුස්මරණ කුසලානය’ යනුවෙනි.
(සිළුමිණ ඇසුරෙන්)
