
වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පෙර ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (24) නියෝග කැර ඇත.
කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කැර ඇති නඩුවක් පෙරේදා (23) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොට ගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කැර තිබුණි.
ඒ් අනුව මන්ත්‍රිවරයා ඊයේ (24) පොලිසියට බාර විය. පැවැති ආපදා තත්ත්වය හමුවේ නඩුව කැඳවීමට තිබූ පසුගිය නඩු දිනයේ නඩුව කැඳවූයේ නැති බව එහිදී සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා ප්රමුඛ නීතිඥ මඬුල්ල අධිකරණය හමුවේ කියා සිටියහ. වෙනත් දිනයක් දැන්වීම් පුවරුවේ සඳහන් කැර නොතිබූ බව නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා අධිකරණය හමුවේ පැවසීය.
සිය සේවාදායකයා වරෙන්තු කැර ඇති බව දැනගෙන ඇත්තේ ප්රවෘත්ති මඟින් බව ද සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේය.
සියලු කරුණු සලකා බැලීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර මන්ත්‍රිවරයා ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්න
