Impartial news reporting for a stronger democratic society
ලෝක සිනමාවේ රන් සලකුණ මජීද් මජීධි

                   

ලෝකයේ සෑම රටකටම  ආවේණික  වූ සංස්කෘතීන් සහ කලාවන්  පවති. මිනිසාගේ ලෞකික වින්දනය උදෙසා බිහි වූ මෙකී කලාව මිනිස් හර පද්ධතියත්, සංස්කෘතියත් සම්මිශ්‍රණයෙන් විවිධ වූ ශිෂ්ඨාචාරයන් සමඟ පන්නරය ලබමින් විපර්යාසයන් මතු කරමින් සිටි. 

එයිනුත්, පුරාණ  පර්සියාව නොහොත් නූතන ඉරානය සිනමාව විමර්ශනයට  ලක්කරන කළ, එහි ඇති අපූරු චමත්කාරය හා ආකර්ශනයේ තරම මෙපමණැයි වචනවලට පෙරළිය නොහැක.ඒ තරමටම ඉරාන සිනමාව මිනිස් චෛතසිකයට බලපෑමක් කැර ඇත.

ඉරාන සිනමාවේ කලාත්මක සාර්ථකභාවය අද වනවිට ලෝකයා හමුවේ මැනවින් තහවුරු වී ඇති අතර , ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රය තුළ බොහෝ විට  නිත්‍යය හා සුප්‍රසිද්ධ අගයක් වී හමාරය. ඉරාන සිනමාවට අඩුම වශයෙන් වසර 60 ක ඉතිහාසයක් තිබෙන අතර, 1979 දී ඇතිවූ ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟ මෙම  සිනමාව නව මාවතකට පිවිසියේය. 

 ” සිනමාවක් ” මිනිස් හැඟීම්, මිනිස් ක්‍රියාකාරකම්  සමඟ සම්මිශ්‍රව ඇති අතරම, එයින් සමාජයට කිසියම් වූ පණිවුඩයක්, ආදර්ශයක්, වින්දනයක් ලබාදීම සාර්ථක  සිනමාවේදීයකුගේ  පරමාර්ථයයි.සාර්ථක කලාකාමියකුට අවැසි වනුයේද මිනිස් හැගීම් සිනමා නිමාණයන් හරහා ප්‍රේක්ෂක සිත් සතන් තුළ ගැඹුරින් පැළපදියම් කිරීමයි. ඒ අනුව ඉරාන සිනමාව ලෝක තලයට ගෙන ගිය මජීද් මජීධි,  ප්‍රේක්ෂ හදවත් මේ තරම් ලෙස ආකර්ෂණය කැර ඇත්තේ ඉහත කරුණු වඩාත් සාර්ථක ලෙස ගැලපූ හෙයිනි. 

1993 දී ඔහු අතින් නිර්මාණය වූ   “Father ” චිත්‍රපටිය කුඩා දරුවකු හා පියකු තුළ ඇතිවන හැගීම් සමුදාය ඉතා තාත්වික අයුරින් ගෙනහැර පා ඇත. කුඩා දරුවා තුළ ජනිත වන හැගීම් සමුදායන් හා පියකුගේ සිත තුළ තෙරපුනු පීතෘ සෙනෙහස සමඟ ඝට්ටනය කරන මජීදි, ජීවිතයේ පැන නගින එක් එක් අවස්ථාවන් හමුවේ සිත ක්‍රියාකරන අන්දම ඉතා විශිෂ්ට ලෙස ඉස්මතු කරවයි . පිය සෙනෙහස අහිමිව කල් ගෙවන කුඩා දරුවා තම සිත තුළ කැකෑරෙන දුක සහ කෝපය තාත්වික අයුරින් චිත්‍රපටිය තුළින් මතු කැර ඇත. අවසන එකී කෝපය උඩු යටිකුරු කරමින් පිය සෙනෙහස දෝරෙ ගලන අන්දම අධ්‍යක්ෂකවරයා මතුකරන්නේ උසස් සිනමාධරයකුගේ ලක්ෂණ තීව්‍ර කරමිනි. සිනමාවකින් විය යුත්තේද එයයි. 

සාර්ථක සිනමාවක අඩංගු සියලුම අංගෝපාංගයන් මෙකී සිනමා නිමාණ හරහා මතු කැර තිබීම මජීදි ලැබූ ජයග්‍රහණයකි, කෘතක්ජන මිනිසුන් තුළ හටගැනෙන “ප්‍රේමය” වැනි සුන්දර දෙයක් වුව ද ඉතා පිවිතුරු ලෙස “Baran ” වැනි චිත්‍රපටි හරහා ගෙනහැර  දක්වා ඇත. යොවුන් ආදරය හුදෙක්ම ආකර්ශනයක් හා ආශාවන් නොවන බව පසක් කරන මජීදි, ඉන් ඔබ්බට යමින්  ආලය වනාහි මිනිස් ආධ්‍යාත්මය හා බැදුණු ගැඹුරු බැදීමක් වග ඒත්තු ගන්වයි. අනේක විධ ප්‍රශ්න හමුවේ මිනිස් සිත අසරණ වන ආකාරය , ඇෆ්ගන් සරණාගතයන් ලෙස ඉරානයේ නිර්ධන පන්තිය තුළ  ජීවිතය සරු කැර ගැනීමට දරනා වෑයම මජීඩි සිය සිනමා පටය තුළින් කීමට උත්සහ කළ සත්‍යයයි. 

The colour of paradise, Children of Heaven, මෙසේ මිනිස් හැගීම් සමඟ ගැඹූරින් සම්මිශ්‍රණය වූ මජීදීගේ අනෙක් ළමා චිත්‍රපටියන්ය. මෙම චිත්‍රපට ජාත්‍යාන්තර සිනමා සම්මාන රැසක් ලබාගත් සාර්ථක නිමාණයන්ය. කුඩා අන්ධ දරුවකු වටා ගෙතුණු ” Colour of Paradise” චිත්‍රපටිය ප්‍රේක්ෂක සිත් පැහැර ගත් සදාදරණීය සිනමා ගෙත්තමකි. එහිදී අන්ධ දරුවෙකුගේ මනස සමඟ ජීවත්වන මජීදි, අන්ධ දරුවා පරිසරයට දක්වන්නා වූ ලැදිකම හා සම්බන්ධය  ප්‍රේක්ෂක සිත්වලට තදින්ම කාවදින ලෙස ගෙනහැර දක්වා තිබීම මෙම චිත්‍රපටිය ලැබූ ජයග්‍රහණයක්. ප්‍රේක්ෂක පිරිස ද මනස්කාන්ත ලොවකට ගෙනයන සිනමාකරු එහිදී අන්ධ දරුවා සමඟ ප්‍රේක්ෂකයා ජීවත් කරවයි. කුඩා දරුවා කුහුලෙන් පරිසරය හඳුනා ගැනීමට දරන වෑයම,  වී කරළක  ස්පර්ශය, දිය දහරක සීතල විද දරා ගැනීමට දරුවා උත්සුක දරන විට ප්‍රේක්ෂකයා ද නොදැනුවත්වම ඔහු සමඟ ළමා ලෝකයේ සැරිසරයි.  සිනමාපටය අවසන ප්‍රේක්ෂකයාගේ නෙත්  කඳුළකින් තෙමන්නට තරම් මෙකී අසහය සිනමාවේදීයාගේ සිනමා ශෛලිය සංවේදි වී ඇත. 

සංස්කෘතික සීමාවන් අභිබවමින් දේශපාලනික සිනමාවක් නිර්මාණ  කරන්නට, සෙසු බොහෝ සමකාලීනයන් මෙන්ම මජීද් මජීධි ද, ළමා චරිත යොදා ගැනීම ප්‍රබල සාධකයක් වී ඇත. එම චිත්‍රපට නිර්මාණ කිරීමට ඔහු පෙළබී ඇත..

“මොහොමඩි” නමැති අන්ධ දරුවා වටා ගෙතෙන “Color of Paradise” සිනමා පටයෙන් සැබැවින් ම ළමා ජීවිතයක් පිළිබඳ  වෙනත් අධ්‍යක්ෂවරයකුගේ අවදානය යොමු නොවු  ඉසවිවක් කරා මජීඩි මජීඩි පියවර තබයි.

නගරයට වඩා ගමිබද පරිසරය තුළ ඇති චමත්කාරජනක භූමි දර්ශන, මීදුම පිරී කඳුවලින් වට වූ ගස්වැල්, ජලාශයන්ගෙන් ගහණ වූ ප්‍රමූඛ කැළැබඳ දර්ශන පිළිබඳ චිත්‍රපටය තුළ මජීඩි යොදාගෙන ඇත්තේ මොහොමඩි ගේ අඳ දෑස ඒ සුන්දරත්වය දැකගන්නට වාසනාව අහිමි කැර ඇති බව හඟවමිනි. චිත්‍රපටය කෙමෙන් කෙමෙන් අවසානය කරා එළඹෙන්නට ළං වත්ම මොහොමඩි සහ ඔහුගේ ආත්මාර්ථකාමී පියාගේ චරිත ලක්ෂණ ඉස්මතු වෙයි. සැබෑ මොහොමඩි හඳුනා ගැනීමට පියා අපොහොසත් වෙයි. ඔහුගේ මනසේ නිරන්තරයෙන්ම රැඳි තිබෙන්නේ තවත් විවාහයක් පිළිබඳවයි. 

මොහොමඩි අතැහැර දමා ඔහුගේ කාළකණ්ණි ජීවිතයට අහිමි වූ  ආලෝකයේ දොරටුව වෙත නැවතත් කෙමෙන් කෙමෙන් පියමං කරන්නට වෙර දරයි.

ඉරාන ජනයා එදිනෙදා ජීවිතය තුළ ගොවිපොළ භාවිතාව, නිවෙස් මැටි පිරිබඬ, හුණු පිරියමි කිරීම, මල් එකතු කැර රෙදි සායමි පොවන වැනි සුන්දර රූපරාමු නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරයා අතිරේක අවධානයක් යොමු කැර ඇති බව පෙනෙයි. චිත්‍රපටය සිත්ගන්නා සුළු අන්දමට මෙවැනි දෑ ඇතුළත් කිරීම සහ මුඛ්‍ය වන මොහොමඩ් ගේ භූමිකාව හා ගැලපීම චිත්‍රපටය සංස්කරණය තුළින් විශිෂ්ට කර්තව්‍යයක් සිදු වී ඇති බව පෙනෙන්නට තිබෙන යහපත් ලක්ෂණයක්.

අන්ධ මොහොමඩ්ගෙන් එක අවස්ථාවකදී මෙහෙම ප්‍රකාශනයක් නිකුත් වෙයි.චිත්‍රපටය එක මිටකට අරන් පෙන්වන සිදුවීම තමා මෙි අන්ධ වඩුවා සහ මොහොමඩ් අතර ඇතිවන සංවාදයයි.

‘ ඇයි මොහමඩි අඩන්නෙ ‘ ?

‘ප්‍රශ්නයක්ද ? නියම  මිනිහෙක් කවදාවත් ප්‍රශ්නවලදි අඩන්නෙ නෑ‘

‘ නෑ, ඒක නොවෙයි ‘  

‘ එහෙනම් ? ‘ 

‘‘ ඔයා දන්නවද ? මට කවුරුත් ආදරේ නෑ. අඩුම තරමෙ මගේ ආචිචිවත්. මම අන්ධයෙක් නිසා හැමෝම මාව දාල හිමිහිට මගෙන් පැනල  යනවා. මගේ ඇස් තිබුණා නමි අනිත් ළමයි එක්ක ගමෙි ඉස්කොලෙට මට යන්න තිබුණා. ඒත් එයාල මාව ඇරියේ අන්ධ අයට තියෙන ලෝකේ අනිත් පැත්තේ තියෙන ඉස්කෝලෙකට. එහෙදි රහ්මානි මහත්තය කිවිව දෙවියන් වහන්සේ අනිත් අයට වඩා අන්ධ අයට ආදරෙයි කියල. එහෙන නම් ඇයි දෙවියන් වහන්සේ අපිව අන්ධ කලේ ?, එයා ඒ ගමන කියනවා දෙවියන්ව ඔයාට පේන්නෙ නෑ  කියලා.මොහමඩි,  ඒත් එයාට ඔයාව පේනව එයා මේ හැමතැනම ඉන්නවා . එයාට ඔබව දැනෙනවා . ඒක උත්සාහ කලොත් ඔබේ  ඇගිලි තුඩුවලින් දකින්න පුළුවන් කියලා. ඉතිං මම මගේ ඇගිලි තුඩුවලින් එයාව හැම තැනම හොයනව. මම කවදහරි දවසක මගේ මේ අත් දෙකින් එයාව අල්ලගෙන මගේ මේ හැම දුකක්ම එයාට කියනව.”

මොහොමඩ් සහ ඔහුගේ පියා අතර ඇතිවන ගණුදෙනුව කොයි ආකාරයෙන් නිමාවට පත් වේවිදෝ යන්න අවසානය තුළ පවා කුකුසක් ඇති කරයි.  

 “Color Of Paradise” යනු සැබැවින්ම ජිවිතය ඇති තුරාවට අමතක නොවන චිත්‍රපටයක්. “Color Of Paradise”සමාප්තියෙහි මොහමඩ්ට දෙවියන් සමිමුඛ වෙනවා ! . ඒ කැස්පියන් මුහුදු වෙරළේ වැලි තලාවක් මතදි. මොහොමඩ් දෙවියන්ට තමන්ගේ දුක කියන විදිය පුළුවන් නමි අඬන් නැතිව බලන්න. ඒ මජීඩිගේ “පාරාදීසයේ පැහැය”යි.

මේ ආදී වශයෙන් මිනිස් සිත සමඟම ජිවත් වූ මජීදි වැනි සිනමාකරුන් ඉරානයට පමණක් නොව, ජාත්‍යන්තර සිනමාවටද  පතාක යෝධයකු වැනිය. මෙය ඉරාන  සිනමාව ලැබූ විශාල ජයග්‍රහණයකි. මජීද් වනාහි, මිනිස් සිත බාහිරින් නොබලා එහි අහ්‍යන්තරය ගැඹුරින් ස්පර්ශ කළ සුවිශේෂි නිර්මාණ  කරුවෙකි. සංවේදී මිනිසෙකි. 

ගතානුගතික සම්ප්‍රදායි බැමිවලින් මිදී නව ආරෙකින් තමගේ ගමන් මඟ මෙහෙයවා ගත්  මෙම සුවිශේෂි කලාකාමියා, නිර්මාණකරුවා තමා සතුවූ සහජ හැකියාව  ජාත්‍යන්සිනමා ලෝකයේ හිනිපෙත්තටම  ගෙන යෑමට  සමත් වු බව  කිවයුතුමය. කලාකරුවා සෑම මොහොතකම බැදීම් රහිතව සිටිය යුතු අතර, සිතුම් පැතුම්  සිය නිර්මාණ හරහා විශ්වයට දිය යුතුය. ඉරාන සිනමාව තුළින් ලෝකය ජයගත් මජීදි, ලෝක සිනමාව තුළ සිය අභිමානය සටහන් කෙළේ , නිවැරැදි  දැක්මකින් තම ගමන් මග මෙහෙය වූ නිසාවෙන්මය.

සටහන — ෂිෆානි zසමා

Follow by Email
LinkedIn
Share
WhatsApp