Impartial news reporting for a stronger democratic society
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යෑමෙන් ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සුදානම් — මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියයි

මැද  පෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතු කොටගෙන ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමෙන් ඇති  විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් හොඳින් සූදානම්ව සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
බැංකොක්හි පැවති ‘IMF සමුළුව: ආසියාව 2050’ ට සමගාමීව බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කෙළේය.
ශ්‍රී ලංකාව සතු  අමෙරිකානු ඩොලර් බිලියන 7ක ශක්තිමත් විදේශ සංචිතය සහ දැනට පවතින අඩු උද්ධමන මට්ටම මෙම කම්පන අවශෝෂණය කර ගැනීමට තීරණාත්මක සාධක වන බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
මහ බැංකුවේ සියයට 5ක ඉලක්ක ගත මට්ටමට වඩා බෙහෙවින් අඩුවෙන්, එනම් සියයට 1.6ක මට්ටමක පසුගිය මාසයේ උද්ධමනය පැවතීම හේතුවෙන් මිල කම්පනයක් දේශීය උද්ධමනයට අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් පවතින බව ඔහු විශ්වාසය පළ කරයි.

2022 වසරේදී ඉන්ධන හිඟයක් ඇති වූයේ මිල ඉහළ යෑම නිසා නොව, ඛනිජ තෙල් මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය රට තුළ නොමැති වීම නිසා බව ආචාර්ය වීරසිංහ සිහිපත් කෙළේය. එහෙත් වර්තමානයේ පවතින්නේ ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලුවක් නොව, ගෝලීය සැපයුම් දාමයන්හි ඇති විය හැකි බාධාවන් පිළිබඳ ගැටලුවකි.

මැද පෙරදිග පවතින නොසන්සුන් තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 ඉක්මවා ගොස් ඇති අතර, දිගුකාලීන ගැටුමක් හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන පිරිවැය ඉහළ යෑම සහ සැපයුම් දාම අඩාල වීම ප්‍රධාන අවදානමක් ලෙස හඳුනාගෙන ඇත. මීට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන පිරිවැය පරාවර්තක ඉන්ධන මිලකරණ යාන්ත්‍රණය මූල්‍ය බරක් ඇති වීම වළක්වන අතර, නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමය කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරනු ඇත.
වසර ආරම්භයේදී සියයට 03ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළද එය ඊට වඩා වැඩි සියයට 5ක සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් ලගා කර ගැනීමට හැකි ප්‍රවනතාවයක් මේවන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ පෙන්නුම් කරන බව මහ බැංකු අධිපතිවරයා අනාවරණය කෙළේය.
 අමෙරිකානු ඩොලර් බිලියන 3ක IMF විස්තීරණ අරමුදල් පහසුකමෙහි පස්වැනි සහ හයවැනි සමාලෝචන ඒකාබද්ධ කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට සාර්ථකව පැවැත්වෙන බවත්, එය මැයි මාසය වන විට IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් විය.
විනිමය අනුපාතිකයේ අධික අස්ථාවරත්වය වළක්වා ගනිමින් ස්ථාවරත්වය ආරක්ෂා කිරීම රජයේ සහ මහ බැංකුවේ මූලික ඉලක්කය වී තිබේ.
Source-The Leader
(සටහන | ජේ.මුණසිංහ)

Follow by Email
LinkedIn
Share
WhatsApp