Impartial news reporting for a stronger democratic society
ලොවම මවිත කළ බංග්ලාදේශයේ ආන්දෝලනාත්මක නඩු තීන්දුව

ලෝක දේශපාලනයේ මෑත කාලීන සිදුවීම් අතර වැඩිම අවධානයට ලක්වූයේ බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ නඩු තීන්දුවය. පසුගිය වසරේ අගෝස්තුවේ එරට උද්ගත වූ ශිෂ්‍ය අරගලය මාරාන්තික ලෙස මර්දනය කිරිමට ආරක්ෂක අංශවලට නියෝග නිකුත් කිරීමෙන් ජීවිත 1,400ක් අහිමිවීම සහ තවත් විරෝධතාකරුවන් විසිපන්දහසකට පමණ තුවාල සිදුවීම ඇයට එල්ල වූ අපරාධ චෝදනා අතර විය. එවකට පැවැති හසීනාගේ අවාමි ලීග් රජය පෙරළා දැමීම දක්වා දිග්ගැස්සී ගිය ශිෂ්‍ය අරගලය අතරතුර විරෝධතාකරුවන් ඝාතනය කිරීම්, ඝාතනය කිරීමට උත්සාහ කිරීම්, වධහිංසා පමුණුවිම්, නිරායුධ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට අනුබල දීම්, ඒ සඳහා ආරක්ෂක අංශවලට පහසුකම් සැපයීම් ඇතුළු තවත් චෝදනා රැසකට ඇය වරදකරු බව නිගමනය කළ එරට ත්‍රිපුද්ගල විශේෂ අපරාධ අධිකරණය ඇයට ලබාදුන් තීන්දුව වූයේ මරණ දඬුවම ය.

එය එරට අගතියට පත් විරෝධතාකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම ලොව පුරා විසිරී සිටින අවාමි ලීග් විරුද්ධ පාක්ෂිකයන්ට ද යුක්තිය ඉටු වූ සාධාරණ නඩු තීන්දුවක් ලෙස ජාත්‍යන්තරයේ බොහෝ පාර්ශ්ව අතර පිළිගැනීමට ලක් වූවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු තවත් රටවල් කිහිපයක විවේචනයට ලක්වූ නඩු තීන්දුවක් ද විය. තීන්දුව ප්‍රකාශයට පත් කළ බංග්ලාදේශයේ විශේෂ අපරාධ අධිකරණයේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරමින් හසීනාගේ මරණ දඬුවම හෙළා දකින බවට ද ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ නිකුත් විය.

මානව හිමිකම්

අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසුව ඉන්දියාවට පලා ගිය හිටපු අගමැතිනිය නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් එම තීන්දුවේ යුක්තිසහගතබව සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ද විවිධ අදහස් මතු විය. වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලන ස්වාධීන, අපක්ෂපාතී හා විනිවිදභාවයකින් යුතු අධිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී තර්ක විතර්ක ගණනාවක් ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් විය.

එය කෙසේ වුවද හසීනාගේ නඩු තීන්දුව ලොව පුරා සිටින සියලු රාජ්‍ය නායකයන්ට ලබා දුන් පණිවිඩය වන්නේ බලයේ රැඳී සිටි කාලය ඇතුළත සිදු කරන මානුෂීය අපරාධ පමණක් නොව මහ පරිමාණයේ මූල්‍ය දූෂණ ඇතුළු බරපතළ වැරැදිවලට අවසානයේදී අත්වන ඉරණම මෙය බවය.

ලෝක දේශපාලනයේ එවැනි සිදුවීම් රැසක්ම ඇති බව ඉතිහාසය හාරා ඇවිස්සීමේදී සොයාගත හැකිය. විරෝධතා මර්දනය සඳහා බලය අවභාවිත කිරීමෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන සම්බන්ධව සිදු කළ පුළුල් විමර්ශන සහ නඩු විභාග අවසානයේදී මරණ දඬුවමේ තීන්දු ලබා දුන් අවස්ථාවන් ලෝක දේශපාලන ඉතිහාසයේ එමටය. එවැනි බොහෝ සිදුවීම්වලදී හසීනාගේ නඩු තීන්දුව මෙන්ම ජාත්‍යන්තරයේ විවේචනයට ලක් වූ අවස්ථාවන් රැසක් ද ඉතිහාසයට එක්වී තිබේ. එහි යුක්තිසහගතභාවය සහ සාධාරණත්වය සම්බන්ධව තර්ක විතර්ක ගණනාවක් මතු වූ අතර, මරණ දඬුවමට ලක්වූ රාජ්‍ය නායකයන් සහ පසුකාලීනව රාජ්‍ය සමාව ලබා මරණ දඬුවමින් නිදහස ලැබූ රාජ්‍ය නායකයෝ ද අපමණ වෙති. තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේදී හසීනා මෙන්ම රටින් පලාගොස් සිටි රාජ්‍ය නායකයන් කිහිපදෙනකු දඬුවම මගහරවා ගත් අවස්ථාවන් ද ඉතිහාසයේ සඳහන් වේ.

ඕනෑම ආකාරයක චෝදනා මත මරණ දඬුවමේ තීන්දුවට ලක් වු බංග්ලාදේශයේ පළමු රාජ්‍ය නායකයා හෝ නායිකාව ලෙස හසීනා ඉතිහාසයට එක් වූවද, එවැනි තීන්දුවකට ලක්වූ දකුණු ආසියාවේ පළමුවැනි රාජ්‍ය නායකයා වන්නේ මීට වසර 46කට පෙර මරණ දඬුවම නියම වී රාවල්පිණ්ඩි නුවරදී එල්ලා මරා දමනු ලැබූ පාකිස්තානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලි භූතෝ ය. වසර 1971 සිට 1973 දක්වා කාලයේ එරට සිවුවැනි ජනාධිපතිවරයා ලෙසත්, 1973 සිට 1977 දක්වා එරට 9 වැනි අගමැතිවරයා ලෙසත් කටයුතු කළ සුල්ෆිකාර් අලි භූතෝ මරණ දඬුවමට ලක් වූයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය පැහැරගෙන ජනාධිපති ධුරයට පත්වූ ජෙනරාල් සියා උල් හක්ගේ නියමයෙන් සිදුකළ නඩු විභාගයකදී වරදකරු බවට පත්වීමෙනි. එය 1974 වසරේදි අලි භූතෝ අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ දේශපාලන ඝාතනයක් සම්බන්ධ නඩු විභාගයකි.

ඝාතනයට ලක්වූයේ භූතෝගේම පාකිස්තාන මහජන පක්ෂයේ නිර්මාතෘවරයකු සහ මූල්‍ය දායකත්වය දැක්වූ ව්‍යාපාරික නවාබ් මුහම්මද් අහමඩ් ඛාන් කසූරි ය. 1974 වසරේ නොවැම්බරයේ දිනයක අහමඩ් ඛාන් කසූරි සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් රාසා ඛාන් කසූරි මෝටර් රථයකින් ලාහෝර් නගරය හරහා ගමන් කරමින් සිටියදී සැඟවී සිටි පිරිසක් විසින් තබනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් අහමඩ් ඛාන් ජීවිතක්ෂයට පත්වූ අතර, මෝටර් රථය පැදවූ පුත්‍රයා පලාගොස් ජීවිතය බේරා ගත්තේය.

විපක්ෂය

සැබැවින්ම එම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූයේ අලි භූතෝගේ පක්ෂයෙන්ම දේශපාලනයට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඔහුගේ පුත්‍රය බව පසුව අනාවරණය විය. එකම පක්ෂයක සාමාජිකයන් වූවද, අහමඩ් රාසා අගමැතිවරයාගේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ අතර, භූතෝ විසින් 1973 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පක්ෂව ඡන්දය භාවිත කිරිමෙන් වැළකී සිටියේය. ඉන් නොනැවතී ඔහු එවකට විපක්ෂය ලෙස කටයුතු කළ හිටපු ගුවන් හමුදාපතිවරයකු වූ අස්ගර් ඛාන්ගේ ටෙහ්රිකි ඉස්තික්ලාල් පක්ෂයට සහයෝගය ලබා දී තිබිණි. එබැවින් අගමැති භූතෝ සහ අහමඩ් රාසා අතර පැවැති දේශපාලන විරසකය ප්‍රසිද්ධ රහසක් බවට ද පත්ව තිබූ අතර, ඝාතනය සම්බන්ධව චෝදනාව එල්ල වූයේ අගමැතිවරයාටය. එය දකුණු ආසියාවේ වඩාත්ම මතභේදයට ලක්වූ නඩු තීන්දුවකි. ජාත්‍යන්තරයේ මතභේදයට තුඩු දුන් අලි භූතෝගේ නඩු තීන්දුව සහ ඔහු එල්ලා මරා දැමීම පසුකාලීනව පාකිස්තානයේ දේශපාලන පිල් බෙදීමට හේතු වූ ප්‍රධාන සාධකයක් ලෙස ද සැලකිය හැකිය.

බල අරගල

හිටපු දේශපාලන නායකයන් සම්බන්ධව නඩු විභාග කර, මරණ දඬුවම නියම කළ එවැනි අවස්ථා රැසක් නූතන ඉතිහාසයේ දැකිය හැකිය. දකුණු ආසියාවේ පමණක් නොව තවත් රටවල් රැසක හමුදා කුමන්ත්‍රණ, පාලන තන්ත්‍ර වෙනස්වීම් සහ ප්‍රධාන දේශපාලන ධාරාවේ කැළඹීම්සහගත සිදුවීම්වලින් පසුව එවැනි නඩු විභාග සිදුවී ඇති අතර, ඇතැම් නඩු විභාගවලදී තීන්දු කළ මරණ දඬුවම ආපසු හැරවීමේ සිදුවීම් ද ඊට ඇතුළත් ය. එය දේශපාලන ධාරාවේ ශීඝ්‍ර වෙනස්වීම් සහ බල පෙරළියේ ස්වභාවය මත රඳා පවතින්නකි. ඇතැම් බල අරගල රටක සමස්ත ජාතියම නව මුහුණුවරකට හැඩගැස්වීමට තරම් ප්‍රබලය. හසීනාගේ අවාමි රජයේ බිඳ වැටීම සහ අවසානයේදී ඇයට මුහුණ පෑමට සිදුවූ ඉරණම ඊට කදිම නිදසුනක් ද වේ.

1999 දී එවකට පාකිස්තානයේ අගමැතිවරයා වූ නවාස් ෂරිෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීග් රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දමා ජනාධිපති ධුරයට පත් වූ ජෙනරාල් ෆර්වේස් මුෂාරෆ්ට ද පසුකාලීනව මරණ දඬුවම නියම වූ අතර, ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 2007 වසරේදී ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේදී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු කිරිම සහ අත්හිටුවීම සම්බන්ධව රාජදෝහි ක්‍රියාවක් සිදු කළ බවය. නඩු විභාගය සිදු කළ විශේෂ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව ඔහුට මරණ දඬුවම නියම කළ අතර, එය පාකිස්තානයේ හිටපු හමුදා නායකයකුට එරට මරණ දඬුවම පනවනු ලැබූ පළමු අවස්ථාව ලෙසත් ඉතිහාසයට එක් විය. ඒ වනවිට ඩුබායි නුවර රෝගාතූරව පසුවූ බැවින් ෆර්වේස් මුෂාරෆ් ද නඩු විභාගයට පෙනී නොසිටි අතර, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පිටුවහල් කිරීම සඳහා වන උදර්පන නීතියක් නොමැති බැවින් ඔහුගේ දඬුවම ක්‍රියාත්මක නොවීය. අවසානයේ 2023 වසරේ පෙබරවාරි මුල් භාගයේදී ඔහු දැඩි ලෙස ඔත්පළ වී ඩුබායි නගරයේදීම මෙලොවින් සමුගත්තේය.

මරණ දඬුවම

සැබැවින්ම එවැනි නඩු විභාග සහ මරණ දඬුවම් නියම කිරිම පුරාතන ඉතිහාසය දක්වා විහිදී ගිය එකකි. එවකට ලොව පුරා සිටි බොහෝ අධිරාජ්‍යවාදීන් ද මරණ දඬුවමට ලක්වූ අවස්ථා ඉතිහාසයේ සඳහන් වේ. 17 වැනි සියවසේ මැද භාගයේදී බ්‍රිතාන්‍යයේ පළමුවැනි චාල්ස් රජුගේ මරණ දඬුවම පුරාතන ඉතිහාසයේ අතිශය වැදගත් නඩු තින්දුවකි. 1625 සිට දශක ගණනාවක් එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජු වශයෙන් කටයුතු කළ පළමුවැනි චාල්ස් රජු රාජද්‍රෝහී චෝදනා මත 1649දී හිස ගසා මරා දමනු ලැබූ අතර, ඔහුට එම ඉරණම අත්වූයේ එංගලන්ත රාජධානියේ රාජකීයයන් සහ පාර්ලිමේන්තු පද්ධතිය අතර පැවැති බල තුලනය සම්බන්ධයෙන් ඔහු විසින් ගනු ලැබූ තීන්දු තීරණ රැසකි. ඉංග්‍රීසි සිවිල් යුද්ධය හෙවත් මහා කැරැල්ල ලෙස හඳුන්වනු ලැබූ එම කාලයේ රාජාණ්ඩුව අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු ක්‍රමයට සහාය දැක්වීමට කටයුතු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, සිරගත කිරිම සහ වධහිංසා පමුණුවීම සඳහා නියෝග නිකුත් කරනු ලැබුවේ චාල්ස් රජු විසිනි. නඩු විභාගයේදී කෘෘර පාලකයකු, ද්‍රෝහියකු, මිනීමරුවකු සහ මහජන සතුරකු ලෙස අධි රාජද්‍රෝහී චෝදනා සඳහා ඔහු වරදකරු වූ අතර, මරණ දඬුවම ලබාදීමෙන් පසු රාජාණ්ඩුව අහෝසි කරනු ලැබූ බවත්, එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය ජනරජයක් ලෙස ස්ථාපිත කරනු ලැබූ බවත් සඳහන් වේ.

වසර 1950 සිට 1960 දක්වා තුර්කියේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අද්නාන් මෙන්ඩරස් මෑත ඉතිහාසයේ ලෝක දේශපාලනයේ මරණ දඬුවමට ලක්වූ තවත් හිටපු රාජ්‍ය නායකයෙකි. 1960 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමෙන් පසු දේශපාලන බලය අවභාවිත කිරීමේ සහ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමේ චෝදනා හේතුවෙන් ඊළඟ වසරේදී ඔහු මරණ දඬුවමට ලක්වූ අතර, එය තුර්කි ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සිදු කළ අඳුරු සිදුවීමක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබිණි. රුමේනියාවේ ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකට 1974 සිට 1989 දක්වා කාලසීමාවේ එරට හිටපු ජනාධිපති නිකොලායි සියුසෙස්කු ද බලයේ සිටියදී අපරාධ සිදු කිරීම සහ දේශපාලන බලය අවභාවිත කිරිම හේතුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තවත් රාජ්‍ය නායකයෙකි. දැවැන්ත ජනතා විරෝධයකින් පසුව අත්අඩංගුවට ගනු ලැබු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය පැය කිහිපයකට පමණක් සීමාවූ එකකි. ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ එම වසර අගභාගයේදීය. ලෝක දේශපාලන ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවලට සමානව ශෙයික් හසීනාගේ නඩු තීන්දුව කෙරෙහි ද ජාත්‍යන්තරයේ පිළිගැනීම් සහ විවේචන එල්ල වුවද, සැබැවින්ම ඉන් පිළිබිඹු වන්නේ ඕනෑම රටක රාජ්‍ය නායකයකුට පසුකාලීනව බලය අවභාවිත කිරීමේ ප්‍රතිවිපාකවලට අඩුවැඩි වශයෙන් මුහුණදීමට සිදුවන බවය.

දිනමිණට – ෆවුස් මොහොමඩ් ලියන ලද ලිපියක් ඇසුරෙන්

Follow by Email
LinkedIn
Share
WhatsApp