
ඉරාන සහ මැදපෙරදිග යුද අර්බුදය හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදය පෙර නොවූ විරූ අයුරින් ඉහළ ගොස් තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට මාසයකට අධික කාලයක් ගතවුවද, මෙතෙක් කිසිදු පාර්ශ්වයක් අතර සටන් විරාමයක් හෝ එකඟතාවක් සඳහා සාකච්ඡා පැවැත්වීමේ මාර්ගයක් ද සකස් වී නොමැත.
එවැනි සාකච්ඡා සඳහා අමෙරිකාව මෙන්ම ඉරානයත් කොන්දේසි පැනවීමත් සමඟ බලශක්ති අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතී. අමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය ගෝලීය වෙළෙඳපොළට 20%ක බොරතෙල් ප්‍රමාණයක් සපයනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත්, මැදපෙරදිග රටවල පිහිටි බලශක්ති යටිතල පහසුකම්වලට සහ තෙල් නෞකාවලට පහරදීමත් හේතුවෙන් ජාත්‍යන්තර තෙල් සහ ගෑස් සැපයුම බිඳ වැටී ඇති අතර, ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ආසියාවට සහ යුරෝපා රටවලට ය. යුද්ධය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තරයේ මැදිහත්වීම මෙවැනි අවස්ථාවක අතිශය තීරණාත්මක වුවත්, අමෙරිකානු හා ඉරාන නියෝජිතයන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීම අභියෝගයක් බවට ද පත් වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දර්ශකය මෙන්ම ස්වාභාවික වායු ගෑස් මිල දර්ශකය ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය බලධාරින් වරින් වර සිදු කරන ප්‍රකාශ සහ අනතුරු ඇඟවීම් මත රඳා පවතින අතර, යුද ගැටුම් ආරම්භ වූ දිනයේ සිට අද වනතුරු යුරෝපය පදනම් කරගත් බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල මෙන්ම අමෙරිකාව පදනම් කරගත් ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ද, සෙසු බොරතෙල් මිල දර්ශක මෙන්ම ස්වාභාවික වායු ගෑස් මිල දර්ශකය ද උච්චාවචනය වන්නේ ඒ අනුවය. ඊයේ (02) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබිණි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.00 ලෙසත්, ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.40ක් ලෙසත් සටහන් වූයේ පෙර දිනයට වඩා 6%කට වැඩි අගයකිනි. ඊට හේතු වූයේ ඉරානයට එරෙහි යුද මෙහෙයුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට තීරණය කළ බවටත්, ඉදිරි සති දෙක තුන ඇතුළත අමෙරිකාව අතිශය දරුණු ආකාරයෙන් ඉරානයට පහර දෙන බවටත් ප්‍රකාශ කිරීමය. අමෙරිකාවෙන් එල්ල වන ඕනෑම දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට සුදානම් බව කියමින් ඉරානය ද ප්‍රතිචාර දක්වා ඇති බැවින් මැදපෙරදිග සියලු රටවල බොරතෙල් සහ ස්වාභාවික ගෑස් යටිතල පහසුකම් විනාශ කරන බවට ද අනතුරු අඟවා තිබේ. දෙරටේ තර්ජන සහ අනතුරු ඇඟවීම් අද වන විට බොරතෙල් මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් ද මතුවී තිබේ. ඉරාන යුද ගැටුම් ආරම්භවීමට පෙර පසුගිය පෙබරවාරි මස 27 වැනිදා ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.00ක අගයක් ගත් අතර, ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 63ක් ලෙසිනි. ඒ අනුව ඉරාන යුද ගැටුම් හේතුවෙන් බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල 65%කින් සහ ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල 60%කින් ඉහළ ගොස් තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් උද්ගත වී ඇත්තේ එතෙක් මෙතෙක් ලොව විශාලතම තෙල් අර්බුදය බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (International Energy Agency) ප්‍රධානී ෆාති බිරෝල ප්‍රකාශ කැර තිබේ. එය 70 දශකයේ ලෝක තෙල් අර්බුදයට වඩා දරුණු බව ද ඔහු ප්‍රකාශ කැර තිබේ. වත්මන් යුද තත්ත්වය හේතුවෙන් දැනටමත් දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 11කින් පහත වැටී ඇති බවත්, එය 70 දශකයේදී ගෝලීය වශයෙන් උද්ගත වූ තෙල් අර්බුද ද්විත්වයට වඩා වැඩි ප්‍රමාණයක් බවත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කැර ඇත. 1973දී සහ 1979 දී උද්ගත වූ තෙල් අර්බුද 2දීම දෛනික බොරතෙල් නිෂ්පාදනය පහත වැටී ඇත්තේ බැරල් මිලියන 10කිනි. ඒ අනුව වත්මන් තත්ත්වය වඩාත් බරපතළ බව පෙනේ. ඉරාන යුද අර්බුදය අවසන් කිරීමට ජාත්‍යන්තරයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.
ඉන්ධන අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස සිය තෙල් සංචිතවලින් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ඉල්ලීමට අනුව එහි සාමාජික රටවල් පසුගියදා පියවර ගෙන තිබිණි. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය, ප්‍රංශය ඇතුළු ලොව පුරා රටවල් 32ක් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකත්වය දරන අතර, ගෝලීය තෙල් අර්බුදයකදි භාවිතයට ගැනීම සඳහා දින 90කට සරිලන ආකාරයෙන් තෙල් සංචිත පවත්වාගෙන යන ලෙස සිය සාමාජික රටවලට දුන් උපදෙස් අනුව මේ වන විට එම රටවල් සතු සමස්ත තෙල් සංචිතය බැරල් බිලියන 1.2ක් වන බව සඳහන් වේ. එය ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් විසින් මුදා හරිනු ලැබූ ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය වුවත් අවශ්‍ය ගෝලීය ඉල්ලුම සපුරාලීමට එය ප්‍රමාණවත් නැත. හෝමූස් සමුද්‍ර සන්ධියෙන් දිනකට තෙල් බැරල් මිලියන 20ක් වෙළෙඳපොළට නිකුත් කරන බැවින් සාමාජික රටවල සහායෙන් බලශක්ති ඒජන්සිය විසින් නිකුත් කරනු ලැබූ තෙල් සංචිතය ප්‍රමාණවත් වන්නේ දින 20කට පමණි.

ගෑස් සැපයුම
මැදපෙරදිග යුද්ධයෙන් ගෑස් සැපයුමට ද සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇත. වසර 2022 දී රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ගෝලීය ගෑස් සැපයුමට බලපෑම් එල්ලවූ පළමු අවස්ථාව ද මෙය වේ. යුක්රේන යුද තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වාභාවික ගෑස් ඝන මීටර් බිලියන 75ක් අහිමි වූ අතර, ඉරානය යුද අර්බුදයෙන් මේ දක්වා අහිමි වූ ගෑස් නිෂ්පාදනය ඝන මීටර් බිලියන 140ක් බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දී තිබේ. ඉරාන යුද ගැටුම් ආරම්භ වීමට පෙර එනම්, පෙබරවාරි 27 වැනිදා යුරෝපය කේන්ද්‍ර කරගත් යුරෝපයේ TTF ගෑස් මිල දර්ශකයට අනුව LNG හෙවත් ස්වාභාවික ද්‍රව වායු ගෑස් මිල මෙගාවොට් පැයකට ඩොලර් 36.96ක් වූ අතර, එය අද වන විට ඩොලර් 63.36 දක්වා 50% සිට 80% දක්වා ඉහළ අගයකට ළඟා වී තිබේ. පෙබරවාරි 27 වැනි විට ඊසානදිග ආසියාවේ ජපානය සහ දකුණු කොරියාව කේන්ද්‍ර කරගත් JKM ගෑස් මිල දර්ශකයට අනුව ස්වාභාවික ද්‍රව වායු ගෑස් මිල මෙගාවොට් පැයකට ඩොලර් 10ක්ව තිබූ අතර, එය අද වන විට ඩොලර් 16 දක්වා 40% සිට 70% දක්වා ඉහළ අගයක් ගෙන තිබේ.
මැදපෙරදිග
ඇතැම් වාර්තාවලින් පෙනී යන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් මැදපෙරදිග විශාලතම ගෑස් අපනයනකරුවන් වන කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැපයුම දිනකට ඝන මීටර් මිලියන 300කට වඩා අඩු වී ඇති බවය. එය සෑම සතියකම ගෑස් සැපයුම ඝන මීටර් බිලියන 2කට වඩා අහිමි වීමට හේතුවී තිබේ. පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියේ ඉරානයට අයත් කොටස වන දකුණු පර්සියානු ගෑස් නිධියට (South Pars) ඊශ්‍රායලයෙන් එල්ල වූ ප්‍රහාරයත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදාව එම ගෑස් නිධියේ කටාර් රාජ්‍යයට අයත් කොටස පිහිටි රාස් ලෆාන් කාර්මික නගරයට එල්ල කළ ප්‍රහාරයත් හේතුවෙන් තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. දැනට හඳුනාගත් ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන පර්සියානු මුහුදේ පිහිටි ස්වාභාවික ගෑස් නිධිය ඝන අඩි ට්‍රිලියන 1,800කින් සමන්විත බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඇස්තමේන්තු කර ඇති අතර යුද ප්‍රහාරවලින් සිදුවූ හානිය මෙතෙක් ඇස්තමේන්තු කැර නැත.
ඉරාන යුද අර්බුදය
ඉරාන යුද අර්බුදය ලොව පුරා රටවල් රැසක ගුවන්යානා ඉන්ධන හිඟයකට ද හේතු වී තිබේ. දිනකට ලක්ෂ 5කට අධික ගුවන්යානා ඉන්ධන සපයන අතිශය තීරණාත්මක සැපයුම් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් මතුවී ඇති අධික ඉල්ලුම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් මහ පරිමාණයෙන් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට රටවල් රැසකට සිදුවී තිබේ. ගුවන් ගමන් සහ මෙහෙයුම් දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය පෙබරවාරි 27 වැනි විට අමෙරිකානු ඩොලර් 85-95 අතර මිලකට අලෙවි වූ ගුවන්යානා ඉන්ධන බැරලයක මිල අප්‍රේල් මස 1 වැනිදා වන විට ඩොලර් 180-200 දක්වා ඉහළ අගයක් ගෙන තිබේ. එය 100% සිට 120% දක්වා අතිශය ඉහළ මට්ටමේ අගයකි. ගුවන් සේවාවලට ඉන්ධන පිරිවැය යනු මුළු වියදමෙන් අතිවිශාල කොටසකි. එම තත්ත්වය මත දැනටමත් ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් රැසක් ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු මගීන්ට දරාගත නොහැකි මට්ටම දක්වා ඉහළ දමා තිබේ. ගාස්තු ඉහළ නැංවීම ගුවන් ගමන්වලට පමණක් නොව බොරතෙල් හා ගෑස් මෙන්ම ලෝක වෙළෙඳාමට සැලකිය යුතු බලපෑමක් එල්ලවීමට හේතු වී තිබේ. මැදපෙරදිග යුද අර්බුදය උත්සන්න වීමෙන් ආසියාවේ බොහෝ රටවල රාජ්‍ය මූල්‍ය තත්ත්වය කඩා වැටීමේ අවදානමක් ද මතු කැර ඇති අතර, ජීවන වියදම ඉහළ යෑමට, ආහාර මිල සහ ප්‍රවාහන ගාස්තු මෙන්ම විදුලි බිල ඉහළ යෑමට ද හේතු වී තිබේ. එය ආසියාවට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවට බලපා ඇති අතිශය දරුණු තත්ත්වයකි. ජාත්‍යන්තර දේශපාලන සහ යුද විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ ඉරාන යුද ගැටුම් සමථයකට පත් කැරගැනීමට ජාත්‍යන්තරයෙන් එල්ල කරන බලපෑම් අවම වීම හේතුවෙන් බලශක්ති අර්බුදය දිග්ගැස්සී ඇති බවය.
ෆවුස් මොහොමඩ්
(03 – 04 – 2026 වැනි දින දිනමිණ ට ලියන ලද ලිපියක් ඇසුරින්)
