
රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වන ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡා මේ වන විට අවසන් වී තිබේ.
අමෙරිකාවේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පෙරේදා (05) එම සාකච්ඡා පැවැත් විණි.
එහිදී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ සිරකරු හුවමාරුවක් සම්බන්ධව එකඟතාවක් පළවී ඇති අතර, යුද්ධයේ ප්‍රධාන මාතෘකාවන් වූ සටන්විරාමයක් ඇතිකර ගැනීම සහ භූමිය බෙදා ගැනීම සම්බන්ධව ද සාකච්ඡා වී තිබුණි.
ජාතික අභිමානයට හානියක් නොවන පරිදි දිගුකාලීන සාමයක් උදෙසා සාකච්ඡාවලට සම්බන්ධ වූ බව යුක්‍රේන නියෝජිතයන් පවසා තිබේ.
එමෙන්ම මැදිහත්කාරී රාජ්‍යයන් ලෙස අමෙරිකාව සහ එමීර් රාජ්‍යය ලබාදෙන දායකත්වය ඇගයීමටත් යුක්‍රේනය කටයුතු කැර තිබුණි.

මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රෙෆ් පවසා තිබුණේ සාකච්ඡා ධනාත්මක සහ සාර්ථක ලෙස සිදුවෙමින් ඇති බවයි.
කෙසේ නමුත්, සාකච්ඡාවලදී අත්පත් කරගත් ප්‍රගතිය සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් අනාවරණ කැර නැත.
යුක්‍රේන, රුසියා සහ අමෙරිකානු සාකච්ඡාවල පළමුවටය පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින අබුඩාබිහිදී පැවැත්වුණි
