
යුක්රේන යුද අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණ ඇතිව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීමට අමෙරිකාවේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඊයේ(02) මොස්කව් නුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
යුද ගැටුම් අවසන් කිරීම සඳහා එම සාකච්ඡාව ඉතා සුභවාදී වනු ඇතැයි ධවල මන්දිරය විශ්වාසය පළ කැර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. අමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාහිර පුද්ගලයකු ලෙස පෙනී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනණුවන් වන ජරේඩ් කුෂ්නර් ද රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ. පුටින් සහ විට්කොෆ් අතර සාකච්ඡාව ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිත තිබු බව රුසියානු ජනාධිපති ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කැර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අමෙරිකානු නියෝජිතයන් මොස්කව් නුවර බලා පිටත් වී ඇත්තේ යුක්රේන නියෝජිතයන් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී එකඟතාවකට පැමිණීමෙන් දින දෙකකට පසුව බවත්, රුසියාවට වාසිදායක බවට අදහස් පළ වී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුක්රේන සාම යෝජනාවලියට පුටින්ගේ සහාය ලබාගැනීම මොස්කව් සාකච්ඡාවේදී අමෙරිකානු නියෝජිතයන්ගේ අරමුණ බවත් සඳහාන් වේ.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවති සාකච්ඡාව ඵලදායී බව පෙරේදා ප්‍රකාශ කළ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තවදුරටත් නිරාකරණය කරගත යුතු ගැටලු කිහිපයක් පවතින බවද සඳහන් කැර තිබේ. සාම සාකච්ඡාවේදී යුක්රේනයේ ප්‍රමුඛතාව විය යුතු වන්නේ එහි ස්වාධීනත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම බව පැරීසියේදී ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සමඟ පැවති කෙටි සාකච්ඡාවකින් පසුව සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කැර ඇත.
