Impartial news reporting for a stronger democratic society
මොන්රෝ ප්‍රකා­ශ­නය සහ ට්‍රම්ප්ගේ තුට්ටු දෙකේ විදේශ ප්‍රති­ප­ත්තිය

ජාතික ආර­ක්ෂා­වට දැඩි තර්ජ­න­යක් වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්ත­වා­දය අමෙ­රි­කා­වෙන් තුරන් කිරී­මට බව කිය­මින් එරට හමු­දාව වෙනි­සි­යු­ලාවේ හමුදා ප්‍රහා­ර­යක් සිදු­කර ජනා­ධි­පති නිකො­ලස් මදුරෝ සහ බිරිය සීලියා ෆ්ලෝර්ස් අත්අ­ඩං­ගු­වට ගෙන අමෙ­රි­කා­වට රැගෙන යෑම මේ වන­විට ජාත්‍ය­න්ත­රයේ දැඩි ආන්දෝ­ල­න­යට තුඩු දුන් සිදු­වී­මකි. අමෙ­රි­කාවේ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­චෝ­දනා ගොනු කරනු ලැබූ වෙනි­සි­යු­ලාවේ ජනා­ධි­ප­ති­ව­රයා සහ බිරිය පසු­ගි­යදා නිව්යෝර්ක් නුවර අධි­ක­ර­ණ­යේදී පළමු නඩු විභා­ග­යට පෙනී සිටි අතර, මේ වන­විට බන්ධ­නා­ගා­ර­ග­තවී සිටිති. ඊළඟ නඩු වාරය මාර්තු 17 වැනි­දාට කැඳවා තිබේ.

වෙනි­සි­යු­ලාවේ සිදු­වීම එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ප්‍රඥා­ප්තිය සහ ජාත්‍ය­න්තර නීතිය උල්ලං­ඝ­නය කිරී­මක් බවට ලොව පුරා බොහෝ රට­ව­ලින් ද ප්‍රකාශ නිකුත් වී ඇති අතර, එම සිදු­වීම එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක කවු­න්සි­ල­යේ­දීත් දැඩි විවේ­ච­න­යට ලක්විය. එය ජාත්‍ය­න්ත­ර­යට ලබා­දුන් භයා­නක පූර්වා­ද­ර්ශ­යක් ලෙස ද හඳුන්වා තිබේ. අමෙ­රි­කාව විසින් සිදු කර ඇත්තේ චීන­යට තායි­වා­නය ආක්‍ර­ම­ණය කිරී­මට සහ ඊශ්‍රා­ය­ල­යට ගාසා තීරය ආක්‍ර­ම­ණය කිරී­මට මෙන්ම රුසි­යා­වට යුක්රේ­නය යටත් කර­ගැ­නී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය සකස් කිරී­මක් බවට ද රට­වල් රැස­කින් පෙන්වා දී තිබේ.

එය කෙසේ වුවත් ලෝක ප්‍රජා­වගේ විරෝ­ධය සහ අප්‍ර­සා­දය අමෙ­රි­කා­වට හෝ ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බල­පෑම් කිරී­මට ප්‍රමා­ණ­වත් වී නැති බව ද පෙනේ. වෙනි­සි­යු­ලාවේ මෙහෙ­යුමේ උණු­සුම මැකී යෑම­ටත් පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ලතින් අමෙ­රි­කාවේ තවත් රට­වල් කිහි­ප­ය­කට ද අන­තුරු අඟවා ඇති අතර, ඔහුගේ දිගු­කා­ලීන සිහි­නය වූ ග්‍රීන්ල­න්තය අමෙ­රි­කා­වට ඈඳා ගැනීමේ සැල­සුම කඩි­නම් කිරී­මට පිය­වර ගෙන ඇත.

ආක්ටික් සාග­රයේ පිහිටි අති­වි­ශාල ස්වයං­පා­ලන කලා­ප­යක් වන ග්‍රීන්ල­න්තය අත්පත් කර­ගැ­නීම සඳහා අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විකල්ප රැසක් පිළි­බඳ සාකච්ඡා පව­ත්ව­මින් සිටින බවත්, හමු­දාව භාවිත කිරිම ද ඊට ඇතු­ළත් බවත් ධවල මන්දි­රය ප්‍රකාශ කර තිබේ. නේටෝ සංවි­ධා­නයේ සාමා­ජික රටක් වන ඩෙන්මා­ර්කය සතුව පව­තින එම ස්වයං­පා­ලන කලා­පය ජාතික ආර­ක්ෂාව සඳහා මර්ම­ස්ථා­න­යක් ලෙස අමෙ­රි­කාව සල­කනු ලබයි.

කෙසේ වෙතත් ඩෙන්මා­ර්ක­යට සහාය පළ කර­මින් නේටෝ සංවි­ධා­නයේ යුරෝපා රාජ්‍ය නාය­ක­යන් විසින් ඒකා­බද්ධ නිවේ­ද­න­යක් නිකුත් කර ඇති බැවින් ට්‍රම්ප් මේ සූදා­නම් වන්නේ යුරෝපා රට­වල එක­මු­තුව වන නේටෝ සංවි­ධා­නය සම­ඟත් අර්බු­ද­යක් ඇති කර­ගැ­නී­මට බව පෙනේ. ඒ අත­ර­තුර ලතින් අමෙ­රි­කානු රට­ව­ලට ට්‍රම්ප්ගෙන් එල්ල වන තර්ජ­නය ද ඉහළ ගොස් ඇති අතර, කියු­බාව සහ කොලො­ම්බි­යාව සෘජු ඉලක්ක බවට ද පත්වී ඇත.

එය කෙසේ වෙතත් ඩෙන්මා­ර්කය සිය සංවි­ධා­නයේ සාමා­ජික රටක් වන බැවින් යුරෝපා රට­වල් ග්‍රීන්ලන්ත අර්බු­ද­යට මැදි­හත් වුවද, ඔවුන්ට ට්‍රම්ප්ගේ ලතින් අමෙ­රි­කානු ආක්‍ර­ම­ණ­යට බල­පෑම් කිරී­මට හැකි­යා­වක් නැති බව විශ්ලේ­ෂ­කයෝ පෙන්වා දෙති. ඊට හේතු වී ඇත්තේ මීට වසර දෙක­කට පෙර අමෙ­රි­කාව විසින් හඳුන්වා දුන් ඓති­හා­සික ප්‍රකා­ශ­න­යකි. එය නම් කර ඇත්තේ මොන්රෝ­වා­දය නොඑ­සේ­නම් මොන්රෝ ප්‍රකා­ශ­නය හැටි­ය­ටය.

මොන්රෝ ප්‍රකා­ශ­නය

වසර 1823 දෙසැ­ම්බ­ර­යේදී එව­කට අමෙ­රි­කාවේ හිටපු ජනා­ධි­පති ජේම්ස් මොන්රෝ විසින් යුරෝ­පීය කොල­නි­වා­ද­යට එරෙ­හිව හඳුන්වා දෙනු ලැබූ මේ ප්‍රකා­ශ­නය අමෙ­රි­කානු ඉති­හා­සයේ වඩාත්ම අව­ධා­න­යට ලක්වූ විදේශ ප්‍රති­ප­ත්තිය ලෙස සැලකේ. බට­හිර අර්ධ­ගෝ­ලයේ යුරෝපා මැදි­හ­ත්වීම් වැළැ­ක්වීම අර­මුණු කර­මින් ජනා­ධි­පති මොන්රෝ අමෙ­රි­කානු කොන්ග්‍ර­ස­යට එය හඳුන්වා දෙනු ලැබුවේ එරට ඉති­හා­සයේ ශ්‍රේෂ්ඨ­තම උපා­ය­මා­ර්ගික විදේශ ප්‍රති­ප­ත්තිය හැටි­ය­ටය. එය එව­කට ජාත්‍ය­න්ත­රයේ අති­ශය ආන්දෝ­ල­න­යට තුඩු දුන්නකි.

ජනා­ධි­පති මොන්රෝ එය ප්‍රකා­ශ­යට පත් කළ කාල­ව­ක­වා­නුව වන විට ලතින් අමෙ­රි­කාවේ බොහෝ රට­වල් එව­කට පැවති ස්පාඤ්ඤ, පෘතු­ගාල සහ ප්‍රංශ කොල­නි­වා­ද­යෙන් නිද­හස ලබ­මින් ස්වාධීන රට­වල් ලෙස නැඟී සිටි යුග­යකි. දකුණු අමෙ­රි­කාව, මධ්‍යම අමෙ­රි­කාව සහ කැරි­බි­යන් දූපත් රාජ්‍ය­යන් බිහි­වී­මට පට­න්ගෙන තිබූ යුග­යකි. ලතින් භාෂාව භාවිත කරන එම රට­වල් ලතින් අමෙ­රි­කානු කලා­පය ලෙස ගොඩ­නැ­ඟෙ­මින් තිබූ අතර, යුරෝ­පය එම කලා­ප­යෙන් ඈත් කර තැබීම අමෙ­රි­කාවේ අව­ශ්‍ය­තාව වී තිබිණි. අනිත් අතට එහි යටි අර­මුණ වූයේ එම රට­ව­ලට බල­පෑම් කිරී­මට හෝ මැදි­හ­ත්වී­මට අවශ්‍ය පසු­බිම සකස් කර­ගැ­නී­මය. එය වර්ත­මා­නය වන විට මැන­වින් පැහැ­දි­ලිය.

මොන්රෝ තර­යේම කියා සිටියේ ලතින් අමෙ­රි­කානු කලා­පයේ ස්වෛරී රාජ්‍ය­යන් පාල­නය කිරී­මට හෝ බල­පෑම් කිරී­මට යුරෝපා රට­වල් දරන උත්සා­හය අමෙ­රි­කාවේ ආර­ක්ෂා­වට තර්ජ­න­යක් ලෙස සල­කන බවය. ඔහුගේ ප්‍රකා­ශ­න­යට පද­නම් වී ඇත්තේ මූලික කරුණු 4කි. යුරෝ­පයේ කිසිදු අර්බු­ද­ය­කට අමෙ­රි­කාව මැදි­හත් නොවීම, අමෙ­රි­කානු කලා­පය තුළ තව­දු­ර­ටත් යුරෝපා කොල­නි­වා­දය ව්‍යාප්ත කිරී­මට ඉඩ නොතැ­බීම, බට­හිර අර්ධ­ගෝ­ලයේ ඇති­විය හැකි අනා­ගත යට­ත්වි­ජි­ත­ක­ර­ණය අහුරා දැමීම සහ යුරෝපා රාජ්‍ය­ය­කින් ලතින් අමෙ­රි­කාවේ ඕනෑම රට­කට එරෙ­හිව සිදු­විය හැකි මැදි­හ­ත්වීම් අමෙ­රි­කා­වට එරෙහි වීමක් ලෙස සැල­කීම එම කරුණු අතර වේ. ආර­ම්භ­යේදී ලතින් අමෙ­රි­කානු රට­වල් ද එම ප්‍රකා­ශ­න­යට දැක්වූයේ දැඩි ප්‍රසා­ද­යකි. එහි අය­හ­පත් ප්‍රති­ඵල උදා­වූයේ පසු­කා­ලී­න­වය. විසි­වැනි සිය­වසේ ආර­ම්භ­යේ­දීම එම ප්‍රකා­ශ­න­යට එව­කට අමෙ­රි­කාවේ හිටපු ජනා­ධි­පති තිය­ඩෝර් රුස්වෙල්ට් තව­දු­ර­ටත් ශක්ති­මත් කිරි­මට වැඩි­දි­යුණු කිරී­මෙන් එය මැනැ­වින් පැහැ­දිලි විය. ලෝක බල­වතා වීමේ පටු අර­මුණ උදෙසා රුස්වෙල්ට් 1904 වස­රේදී මොන්රෝගේ ප්‍රකා­ශ­න­යට ඇතු­ළත් කළ කරුණු ලතින් අමෙ­රි­කානු රට­වල යුරෝ­පීය බල­පෑම් සහ මැදි­හ­ත්වීම් වැළැ­ක්වී­මට අමෙ­රි­කා­වට ඇති අයි­තිය තහ­වුරු කිරී­මකි. එය හඳු­න්වනු ලැබුවේ රුස්වෙල්ට් සිද්ධාන්ත හැටි­ය­ටය. එම­ඟින් ලතින් අමෙ­රි­කානු රට­ව­ලට යුරෝ­පයේ ආර්ථි­ක­යෙන් ලැබෙන සහාය අහුරා දැමුණු අතර, රුස්වෙල්ට් එය හඳු­න්වනු ලැබුවේ යුරෝපා ණය බරින් ලතින් අමෙ­රි­කාව නිද­හස් කර­ගැ­නී­මක් ලෙස­ටය. එම­ඟින් අමෙ­රි­කා­වට ලතින් අමෙ­රි­කානු රට­වල වෙළෙඳ කට­යුතු හා ව්‍යාපාර කිරීමේ වැඩි ඉඩ­ක­ඩක් නිර්මා­ණය විය. අමෙ­රි­කාවේ ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට අවශ්‍ය පද­නම සකස් වූයේ ඒ අනු­වය.

එහි ප්‍රති­ඵ­ලය අන්තිම භයා­නක එකකි. පසු­කා­ලී­නව එම­ඟින් සීඅ­යිඒ නියෝ­ජි­තයෝ බුරුතු පිටින් ලතින් අමෙ­රි­කානු රට­ව­ලට පොම්ප කිරී­මට අවශ්‍ය පසු­බිම සකස් වූ අතර, රට­වල් රැසක අභ්‍ය­න්තර අර්බුද, විරෝ­ධතා, දේශ­පා­ලන ව්‍යාකූ­ල­ත්වය ව්‍යාප්ත වීමට එය ප්‍රබල සාධ­ක­යක් බවට ද පත් විය.

යුරෝ­පීය මැදි­හ­ත්වීම්

විසි වැනි සිය­ව­සේදී අමෙ­රි­කාව විසින් ලතින් අමෙ­රි­කානු රට­වල මැදි­හ­ත්වීම් රාශි­යක් සිදු කළ අතර, ඒවා මොන්රෝගේ විදේශ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් සහ රුස්වෙල්ට්ගේ සිද්ධා­න්ත­ව­ලින් යුක්ති සහ­ගත කිරී­මට ද අමෙ­රි­කාව කට­යුතු කළේය.

එහි ප්‍රති­ඵ­ලය වූයේ ලතින් අමෙ­රි­කාවේ රට­වල් ආක්‍ර­ම­ණ­යට අමෙ­රි­කා­වට සියලු ආකා­ර­යෙන් වට­පි­ටාව සකස් වීමය. වර්ත­මා­නය වන විට අමෙ­රි­කාව විසින් ලතින් අමෙ­රි­කානු රට­වල සිදු කර ඇති ආක්‍ර­මණ රැසකි. 1954 වසරේ පැර­ගුවේ ආක්‍ර­ම­ණයේ සිට ඊයේ පෙරේදා වෙනි­සි­යු­ලාවේ සිදු කළ ආක්‍ර­ම­ණය දක්වා විහිදී ගිය එකකි. ලෝක ආක්‍ර­ම­ණ­යන් සම්බ­න්ධව අන්ත­ර්ජා­ලයේ සට­හන් වී ඇති තොර­තු­රු­ව­ලට අනුව 1890 අර්ජ­න්ටි­නාවේ සිදුවූ අමෙ­රි­කානු හමුදා මෙහෙ­යුමේ සිට 1899 නික­ර­ගුවා රාජ්‍යයේ සිදු කළ හමුදා ආක්‍ර­ම­ණය දක්වා අමෙ­රි­කාව විසින් 19 වැනි සිය­ව­සේදී ලතින් අමෙ­රි­කානු කලා­පයේ සිදු­කර ඇති විවිධ ආක්‍ර­මණ සංඛ්‍යාව 10කි. එය 20 වැනි සිය­ව­සේදී බර­ප­තළ ලෙස ඉහළ ගිය අතර, 1903දී හොන්ඩ­රස් රාජ්‍යයේ සිදු කළ හමුදා ආක්‍ර­ම­ණයේ සිට 1995 දී හයිටි රාජ්‍යයේ සිදු කළ හමුදා ආක්‍ර­ම­ණය දක්වා සිදුවූ ආක්‍ර­මණ සංඛ්‍යාව 43කි. ඉන් ඇතැම් රට­වල අවස්ථා ගණ­නා­ව­ක­දීම ආක්‍ර­ම­ණ­යන් සිදුවී තිබේ.

මීට අම­ත­රව ලතින් අමෙ­රි­කාවේ කොමි­යු­නිස්ට් බල­වේග දුර්වල කිරීම සඳහා අන්ත දක්ෂි­ණාං­ශික බල­වේ­ග­ව­ලට සහාය දෙමින් හමුදා කුම­න්ත්‍රණ සිදු කිරී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය කිරී­මට ද අමෙ­රි­කාව කට­යුතු කර තිබිණි. ඒ අත­රින් බොලී­වි­යාව, බ්‍රසී­ලය, චිලී, කියු­බාව, ඩොමි­නික් රාජ්‍යය, ඉක්ව­දෝ­රය, ගෝත­මාලා, හයිටි, මෙක්සි­කෝව, නික­ර­ගුවා සහ පැනමා වැනි රට­වල පාලන තන්ත්‍රය වෙනස් කිරී­මට සහ හමුදා කුම­න්ත්‍රණ සිදු කිරී­මට අමෙ­රි­කාව සිදු­කළ මැදි­හ­ත්වීම් කැපී පෙනේ.

අමෙ­රි­කානු ඉති­හා­සය පුරාම වරින් වර මොන්රෝ ප්‍රකා­ශ­නය ක්‍රියා­ත්මක කිරීමේ අවස්ථා රැසකි. ඒවා සිදු කර ඇත්තේ හුදෙක් බට­හිර අර්ධ­ගෝ­ලයේ යුරෝ­පීය මැදි­හ­ත්වීම් වැළැ­ක්වීමේ අර­මු­ණින් නොවන බව ද පැහැ­දි­ලිය. 1959 කියු­බානු විප්ල­ව­යේදී එය වඩාත් හොඳින් පැහැ­දිලි විය. ෆිදෙල් කස්ත්‍රෝ සහ චේගු­වේරා එක්ව කියු­බාවේ කොමි­යු­නිස්ට් රජ­යක් පිහි­ටු­වී­මේදී අමෙ­රි­කාවේ තීර­ණය වූයේ ලතින් අමෙ­රි­කාවේ සෝවි­යට් පිටු­ව­හල ලැබෙන කොමි­යු­නි­ස්ට්වා­දය ව්‍යාප්ත වීම වැළැ­ක්වීම සඳහා මොන්රෝ මූල­ධර්ම ක්‍රියා­ත්මක කළ යුතු බව­ටය. ඒ සඳහා ලතින් අමෙ­රි­කාවේ එව­කට අමෙ­රි­කානු හිත­වාදී රජ­යන් වෙත බුද්ධි සහ හමුදා සහාය ප්‍රසි­ද්ධි­යේම ලබා දුන් බව ද සඳ­හන් වේ.

වරින් වර විවි­ධා­කා­ර­යෙන් සංශෝ­ධ­න­යට ලක්වූ මොන්රෝ ප්‍රකා­ශ­නය දෙවැනි ලෝක මහා යුද සම­යේදී අමෙ­රි­කාව විසින් නැවත බලා­ත්මක කරනු ලැබූ අතර, ජර්ම­නිය විසින් ඩෙන්මාර්ක් රාජ්‍යය අත්පත් කර­ගැ­නී­මෙන් පසු සිය විදේශ ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කර­මින් ඩෙන්මා­ර්කය සතුවූ ග්‍රීන්ල­න්තය අත්කර ගත්තේ ජර්මා­නු­වන්ට ඒ සඳහා දැරූ උත්සා­හය වැළැ­ක්වීමේ අර­මු­ණින් යුතු­වය. එහෙත් යුද්ධ­යෙන් පසුව ද අමෙ­රි­කානු හමු­දාව ග්‍රීන්ල­න්තයේ රැඳී­සි­ටීම ඩෙන්මා­ර්කයේ දැඩි අප්‍ර­සා­ද­යට හේතුවී තිබිණි. 1949 වස­රේදී ඩෙන්මා­ර්කය නේටෝ සාමා­ජි­ක­ත්වය ලැබී­මෙන් පසු එම තත්ත්වය වෙනස් වූ බව සඳ­හන් වේ.

සැබැ­වින්ම වෙනි­සි­යු­ලාවේ අති­වි­ශාල තෙල් සංචි­තය කෙරෙහි අමෙ­රි­කාවේ අව­ධා­නය යොමු වූයේ මෑත­කදී නොවන බව ඉති­හාස තොර­තුරු හාරා ඇවි­ස්සී­මේදී පෙනී යයි. ලොව විශා­ල­තම තෙල් සංචි­ත­ව­ලින් පොහො­සත් වෙනි­සි­යු­ලාව සිය තෙල් වෙළෙ­ඳාම චීනය, ඉරා­නය ඇතුළු රට­වල් කරා ව්‍යාප්ත කිරීම අමෙ­රි­කාවේ අස­තු­ටට හේතු වී තිබූ අතර, එය මොන්රෝ ප්‍රකා­ශ­නය නැවත අලුත් කිරි­මට අමෙ­රි­කාවේ අව­ධා­නය යොමු කළ කරු­ණක් ද විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාල­යේදී මොන්රෝ ප්‍රකා­ශ­නය කෙරෙහි දැඩි ලෙස උනන්දු වූ අතර, වෙනි­සි­යු­ලාව අභ්‍ය­න්ත­රයේ හමුදා මැදි­හ­ත්වී­මක් සිදු කිරීමේ හැකි­යාව එම­ඟින් ලබා ගැනී­මට උත්සාහ කර තිබිණි. පසු­ගි­යදා වෙනි­සි­යු­ලාවේ ජනා­ධි­ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගැනීම දෙවැනි ධුර කාල­යේදී සිය අර­මුණ ඉටු කර­ගැ­නීමේ උත්සා­හ­යක් ලෙස විශ්ලේ­ෂ­ක­යන් සඳ­හන් කර ඇත්තේ එබැ­විනි. සැබැ­වින්ම ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය සම්පූ­ර්ණ­යෙන්ම විදේශ ප්‍රති­පත්ති අභි­ලා­ෂ­යෙන් හැඩ ගැස්වූ එකකි.

නිකො­ලස් මදුරෝ අල්ලා ගැනී­මෙන් පසු ඔහු නැවත මොන්රෝ ප්‍රකා­ශ­න­යට නැඹුරු වී සිටියි. එය ඔහුගේ විදේශ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරීම සඳහා මෙව­ල­මක් ලෙස භාවි­ත­යට ගැනීම අර­මුණ වන්නට ඇත. වෙනි­සි­යු­ලාවේ තෙල් සංචි­තය මෙන්ම ට්‍රම්ප්ගේ අව­ධා­නය යොමුවී ඇත්තේ ග්‍රීන්ල­න්තයේ අති­ශය දුර්ලභ ඛනිජ සම්පත් කෙරෙ­හිය. එහෙත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආර­ක්ෂාව මුල් කර­මින් ග්‍රීන්ල­න්තය අත්පත් කර­ගැ­නීම කාලීන අව­ශ්‍ය­තා­වක් බවය. ජාත්‍ය­න්තර නීති­යෙන් ඔබ්බට ගිය ට්‍රම්ප්ගේ ආක්‍ර­ම­ණ­ශීලී විදේශ ප්‍රති­ප­ත්ති­යට එරෙ­හිව ජාත්‍ය­න්ත­ර­යෙන් සැල­කිය යුතු බල­පෑම් සිදු­විය යුතු බවට මධ්‍යස්ථ දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන් අව­ධා­ර­ණය කර ඇත්තේ එවැනි කරුණු සැල­කි­ල්ලට ගනි­මින් බව පැහැ­දි­ලිය.

(ෆවුස් මොහො­මඩ් – දිනමිණට ලියන ලද ලිපියක් ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp