
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ට මේ මස 20 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදු කැර තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන්, රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කැර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කැරගැනීම සඳහා ය.
අධිකරණය හමුවේ අද ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කෙළේ, මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහට පෙබරවාරි 20 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇති බවයි.(Source- The Leader)
