Impartial news reporting for a stronger democratic society
මුහුදෙන් ගෙනා කෝටි 620ක කුඩු අල්ලයි – කිලෝ 323ක් – උර 19ක අසුරලා

ශ්‍රී  ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව රුපියල් කෝටි 620ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 323 අත්අඩංගුවට ගෙන ඇත.

එම හෙරොයින්  ප්‍රමාණය මෙරටට එවා ඇත්තේ ඩුබායිහි රැඳීසිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

දිසානායක නැමැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධ‍යෙන් කාලයක් තිස්සේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇස ගසාගෙන සිට නාවික හමුදාවට ලබාදුන් තොරතුරකට අනුව ඔහුට සම්බන්ධ මෙම මත්කුඩු යාත්‍රාව කොටු කැරගැනීමට හැකිවූ බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

ඔහුට සම්බන්ධ මත්ද්‍රව්‍ය මෙතරම් විශාල තොගයක් අල්ලා ගන්නා පළමු අවස්ථාව වන්නේ මෙය බව ද සඳහන්ය. මත්ද්‍රව්‍ය තොගය ඉරාන් යාත්‍රාවකින් රැගෙන විත් නිරිතදිග මුහුදු තීරයේදී මෙම බහුදින යාත්‍රාවට භාරදී ඇති බවද අනාවරණය වි තිබේ. බහුදින යාත්‍රාවේ සිටි 06 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට නිරිතදිගින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ගමන් කරමින් තිබෙන බවට නාවික හමුදාවට තොරතුරු ලැබීමත් සමඟ නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කැර තිබුණි.

“ආවේ මරියා“ නැමැති එම බහුදින ධිවර යාත්‍රාව ඊයේ (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදු කළ පරීක්ෂාවෙන් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ පැකට් 298ක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා පැවසීය. උර 19ක අසුරා පැකට් 298ක මත්ද්‍රව්‍ය තොගය සූක්ෂමව අසුරා තිබී ඇත.

යාත්‍රාවේ තිබී චන්ද්‍රිකා තාක්ෂණ දුරකතනයක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබුණි. මෙම යාත්‍රාව හලාවත වෙල්ලමණ්කඩින් පෙබරවාරි මස 03දා මුහුදු ගොස් ඇත. පළමු දිනයේ යාත්‍රාවේ පස් දෙනකු ගමන් කර ඇත. අනතුරුව කල්පිටිය ධීවර වරායෙන් ජාවාරම මෙහෙයවූ බවට සැක කෙරෙන පුද්ගලයා ඊට ගොඩවී තිබෙන බවත් විමර්ශන නිලධාරීන් තහවුර කරගෙන තිබෙන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මීගමුව, හලාවත සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. එම යාත්‍රාවේ ස්කීපර්වරයා 2024 වර්ෂයේ ජූලි මස 06 වැනි දින ගාල්ලට ඔබ්බෙන්වූ දකුණු මුහුදේදී නීතිවිරෝධි ලෙස මුහුදු සර්පයන් රැගෙන ඒ මේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු වීමද විශේෂත්වයකි.

දැනට සිදු කෙරෙන මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මේ වන විට විදෙස්ගතවී සිටින දිසානායක නමැති ජාවාරම්කරුවකු මෙම යාත්‍රාව වෙන්නප්පුව ප්‍රදේශයේදී මිලදී ගෙන කල්පිටිය වරායෙන් මෙම යාත්‍රාවට ගොඩවූ පුද්ගලයාට ලබාදී ඇති බව යැයි පොලීසිය පවසයි. මේ වන විට අදාළ බෝට්ටුවේ අයිතිකරු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ වසරේදී මේ දක්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් 09 වැනි යාත්‍රාව මෙයයි. අල්ලාගත් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාපති, අද්මිරාල් කාන්චන බානගොඩ මහතා ප්‍රමුඛ නාවික හමුදා ප්‍රධානීන් , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති, අශෝක ධර්මසේන මහතා ප්‍රමුඛ පොලිස් ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

( දිනමිණ ඇසුරෙන්)

රක්ෂණ ශ්‍රියන්ත, වත්තල විශේෂ – ජෝශප් පයස්

ඡායාරූපය – වත්තල විශේෂ ජෝශප් පයස්

Follow by Email
LinkedIn
Share
WhatsApp