Impartial news reporting for a stronger democratic society
මිහින්තලේ කළු බණ සහ ලාල්කාන්තගේ වනචාරී බණ

අදාළ මාතෘකාවට ඇතුළත් කෙරෙන කරුණු පියවර කීපයක් යටතේ සාකච්ඡාවට බඳුන් කළ හැකිය.

පළමු පිවිසුම ;

බෞද්ධ භික්ෂූන්ට අදාළව මේ දවස්වල  ප්‍රවණතාවන් දෙකක් දකින්නට ලැබෙයි. එයින් පළමුවැන්න කෙරෙහි ලොව පුරා සාමය ලැදි ජන මනස ආකර්ෂණය වෙමින් පවතී. එනම්, අමෙරිකා එක්සත් ජනපදයෙහි පෙරට යමින් පවතින බෞද්ධ භික්ෂු සාම පාද චාරිකාවයි (Walk for Peace). බුදුන්ගේ සාම පණිවුඩය රැගෙන සැතපුම් දහස් ගණනක් පා ගමනින් ඇවිද යමින් සිටින වියට්නාම් බෞද්ධ භික්ෂූහු වාර්ගික හෝ ආගමික භේදයෙන් තොරව අමෙරිකානු පොදු ජනතාවගේ උපහාරය ලබති.

දෙවැනි ප්‍රවණතාව හැටියට මා තෝරා ගන්නේ ශ්‍රී ලංකාවේ භික්ෂූන් අතළොස්සකගේ  සැඟවුණ හෝ විවෘත දේශපාලන න්‍යාය පත්‍රයක් සහිත අවිනීත හැසිරීම් රටාවයි. සාපේක්ෂව විමසන විට එකම ශාසනයට අයත් එම ශ්‍රමණ කණ්ඩායම් දෙක අතර පවතින්නේ කණගාටුදායක  වෙනසකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් අතළොස්සකගේ (බහුතරයේ නොව) එම හැසිරීම සමාජය ඉදිරියේ නිරාවරණය වුණේ  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ විෂය මාලාවෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් මිහිනතලය අධිපති හිමියන් විසින් සිදුකරන ලද මතභේදයට තුඩු දී ඇති ජුගුප්සාජනක වචන භාවිතය සමඟය.

දෙවැනි පිවිසුම;

ඉහත දැක්වෙන ප්‍රවේශය මඟින් ඊළඟට අප කැඳවනු ලබන්නේ බුදුන්ගේ දේශනාවක් වෙතය. අපි උන්වහන්සේට සවන් දෙමු.

චක්ඛුනා සංවරෝ සාධු – සාධු සෝතේන සංවරෝ

ඝානේන සංවරෝ සාධු – සාධු ජිව්හාය සංවරෝ

කායෙන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ

මනස සංවරෝ සාධු – සාධු සබ්බත්තා සංවරෝ

සබ්බත්ත සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.

(ධම්මපද – භික්ඛු වග්ග ගාථා 361-2)

ධම්මපදයට අයත් ඉහත සඳහන් කරන ලද  බෞද්ධ ඉගැන්වීම මඟින් පැවසෙන්නේ ඇසින් කණින් දිවෙන් සිරුරෙන් වචනයෙන් ආදී සියලු ඉඳුරන්ගෙන්  සංවරවීමේ භික්ෂු ආදර්ශයයි.එලෙස සෑම තැනකම සංවර වූ භික්ෂුව සියලු දුකින් නිදහස් බව ඉන් කියැවෙයි.

එවැනි නිර්දේශයන් මඟින්  ප්‍රායෝගිකව  බලාපොරොත්තු වන්නේ ආදර්ශමත් භික්ෂු හැසිරීමක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. වඩාත් සංක්ෂිප්තව සඳහන් කරන්නේ නම්, බෞද්ධ ඉගැන්වීම අනුව බලාපොරොත්තු වන්නේ සංවර භික්ෂුවකි. එහෙත් රට දැය බේරා ගැනීමේ නාමයෙන් නැගී සිටින ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියාකාරිත්වයෙහි එම සුසමාදර්ශය  දකින්නට ලැබෙන්නේද? යන ප්‍රශ්නයට මිහින්තලය නා හිමියන්ගේ (කුණුහරුප ගණයේ ලා සැළකෙන යෙදුම් ඇතුළත්) වාග් භාවිතය වුවද ප්‍රමාණවත් පිළිතුරකි.

තෙවැනි පිවිසුම;

බෞද්ධ ශාසන  ඉතිහාසය විමසන විට ආදි අවධියේ පටන් මෙවැනි භික්ෂූ ප්‍රවණතාවන් මතුව ඇත. බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි ම බොහෝ  ශික්ෂාවන් පනවන ලද්දේ අශීලාචාර (වනචාරී ) මහණුන් විසින් භික්ෂු විනය උල්ලංඝනය කරනු ලැබීම හේතුවෙනි.

ඉතිහාසය පුරා ආගමික සංස්ථාවන්හි ගර්හිත පූජකයන් මතුවීම අද්භූත හෝ ආශ්චර්යයක් නොවේ. ආගම් නාමය කුමක්  වූණත් සියලු ආගම් සම්බන්ධයෙන් එය බැහැර කළ නොහැකි  යථාර්තයකි. එවැනි ගර්හිත ශ්‍රමණ හැසිරීම්  පිළිබඳ මාතෘකාව  ශ්‍රී ලංකාවේ නැවත  කරළියට පැමිණ තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙක් (කේ.ඩී. ලාල්කාන්ත) ලාංකික බෞද්ධ භික්ෂුවක් ඉලක්ක කැර ගනිමින්  ‘වනචාරී’ විශේෂණ පදය එකතු කරනු ලැබීමත් සමඟය. ඇමැතිවරයා ඔහුගේ විවේචනය එල්ල කරන ලද්දේ උතුරු මැද පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික බුදුනුවන්ගේ පුදබිමක් මෙන්ම පොදුවේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක බිම්කඩක් වන මිහින්තලය විහාරය භාරව සිටින භික්ෂුවගේ වාග් භාවිතය මුල්කැර ගෙනය. ඒ අනුව එම භික්ෂුවගේ හැසිරීම ‘වනචාරී’ බව ඇමැතිවරයා  ඍජු ලෙසම කියා සිටියේය. ( ඇමැතිවරයාට පක්ෂග්‍රාහී පුද්ගලයන් ඔහුගේ ප්‍රකාශය  ඍජුව මිහින්තලය භාර භික්ෂුව ඉලක්ක කැර ගනිමින් සිදු කරන ලද්දක් නොවන බවට තර්ක කරන්නේ අවංකව නොව දේශපාලන අරමුණු සහිතවය. )

ඇමැතිවරයකු සහ භික්ෂුවක් මැදිහත්  මෙම වාග් කෝලාහලයට හේතුව ධර්ම කාරණයක් නොවේ. එය මූලික වශයෙන්  අධ්‍යාපන විෂය දහරාවට ඇතුළත් එක යෙදුමක් සම්බන්ධයෙන් අදාළ භික්ෂුව විසින් කරන ලද ප්‍රකාශයකි. භික්ෂුවගේ චෝදනාව වුණේ අලුත් අධ්‍යාපන විෂය දහරාවට අයත් එක් පෙළපොතකට  එක්තරා අන්තර්ජාල වෙබ් අඩවියකට පිවිසීමේ පහසුකම් හඳුන්වාදීම මඟින් විශාල විනාශයක් සිදුවන බවකි. එම අනතුර පෙන්වා දීම සඳහා එම භික්ෂුව විසින් පාවිච්චි කරන ලද මෙවැනි ලිපියක වුවද සඳහන් කිරීම අසීරු වචන බෞද්ධ භික්ෂුවකට ඔබින්නේද? යන්න සම්බන්ධයෙන් පොදු සමාජයේ නිහඬ කතිකාවක් සිදු වෙමින් පවතින අතරවාරයේ ඇමැතිවරයාගේ ද  විවේචනය එල්ල වූ බව අමතක නොකළ යුතුය. භික්ෂුව සහ ඇමැතිවරයා විසින් භාවිතා කැර ඇති වචන  විමසන විට පැහැදිලිව පෙනීයන්නේ දෙපාර්ශ්වයේම  ඛේදජනක පිරිහීමයි. 

මෙහිදී අපි  ගිහියකු වූ  ඇමැතිවරයා නොව බෞද්ධ භික්ෂුවගේ වාග් භාවිතය විමසමු. අප ජීවත්වන්නේ රජුට හෝ රාජ්‍යයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමේ අයිතියක් භික්ෂූන් වහන්සේ සතු බවට පිළිගැනීමක් සහිත සමාජයකය. එවැනි පිළිගැනීමක් සහිතව මිහින්තලය භාර භික්ෂුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හෙළාදකිමින් කරන අනුශාසනාවට යළි සවන්දෙමින් එහි  ඇතුළත් ධර්ම කරනු තේරුම් ගැනීම සමාජයට පැවරෙන කාර්යයකි.

බෞද්ධ ඉගැන්වීම අනුව විමසන විට භික්ෂූන්ගේ හැසිරීම පාලනය කරන විනය නීති දෙසිය විසි හතකට(227) වඩා දක්නට ලැබෙයි. ඊට අමතරව තවත් විවිධ නිර්දේශයන් මඟින් පැවිදි ප්‍රජාව  විසින් ගිහි ප්‍රජාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු හැසිරීම් රටාවක්  ගැන සැලකිලිමත්ව ඇත. එමඟින් පෙන්නුම් කෙරෙන්නේ  ගිහියාට වඩා භික්ෂුව ආදර්ශමත් හැසිරීමක් සහිතව කටයුතු කළ යුතු බවයි.

එම බෞද්ධ පරමාදර්ශය සිතෙහි තබා ගනිමින් වනචාරී යයි අපහාස ලද භික්ෂුවගේ වාග් ප්‍රහාරයට යළි සවන් දෙන විට එය භික්ෂු සංයමයට ඉඳුරා පටහැණි බව නැවත නැවත නොකිවමනාය. ඒ හිමියන් මුව සිනහව සහිතව ගර්වයෙන් සඳහන් කරන්නේ භික්ෂුවක් විසින් ව්‍යවහාර කළ නොයුතු අසභ්‍ය වාග් කෝෂයකි. ඊට ප්‍රතිචාරය දක්වමින් ආණ්ඩුවේ ඇමැතිවරයා විසින් වනචාරී අපහාසය එල්ල කරනු ලැබීමෙන් අනතුරුව භික්ෂුවගේ උත්සාහය වී තිබෙන්නේ එය තමාට නොව සමස්ථ භික්ෂු ශාසනයට එරෙහිව එල්ල කරන ලද ප්‍රකාශයක් හැටියට සමාජගත කැර ගැනීමය. එම අරමුණ සහිතව එහිමියෝ ඇමැතිවරයාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බවක් මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණ එපමණකින් නතර නොවූ භික්ෂුව මේ අරෝව සම්බන්ධයෙන් තමා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැමිණිලි කිරීමට සූදානම් වෙමින් සිටින බවක් ද කියා සිටියි.

මෙවැනි භික්ෂු හැසිරීම්හි පළමු අවස්ථාව මෙය නොවේ. අධිකරණයට අපහාස කරනු ලැබීම සම්බන්ධයෙන් වරදකරු කොට සිර දඬුවම් ලද භික්ෂුවක් එම ඉරණම අත්වීමට පෙර  කොළඹ නගරයේ හෝටලයක පැවැත්වුණ රැස්වීමකට ඇතුල්ව  ප්‍රතිවිරුද්ධ මතධාරී භික්ෂුවකට පහර දෙමින් ශාරීරික හිංසා සිදු කෙළේය. ඔහු වර්ගවාදී උසිගැන්වීම් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරු කරනු ලැබ දෙවැනි වතාවටත් සිර දඬුවම් ලැබ ඇප මත ජීවත් වෙන්නෙකි. ඒ දිනවලම  විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් සිටි දැනුදු දේශපාලන පක්ෂයක ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටින භික්ෂුවක් පොලිස් නිලධාරියකුට  කම්මුල් පහරක් එල්ල කරන ලද්දේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ නිල හිස්වැස්ම  අහසට විසිවෙන වේගයෙනි.ඔවුන් අතර නිතරම පෙනී සිටි එක් භික්ෂුවක් අත ඔසවන විට එහි වූ පච්චයක් කැමරා කාචයන්හි  සටහන්ව ඇත. අභාවප්‍රාප්ත ඇමැති මංගල සමරවීර විසින් කහකඩ  ‘භික්ෂු නිකායක්’ හැටියට හංවඩු ගසන ලද්දේ එවැනි හැසිරීමක් සහිත භික්ෂූන් අල්පයකි.

සිව්වැනි පිවිසුම;

ශ්‍රී ලංකාවේ දේශපාලන භික්ෂුව සමාජයට අමුත්තෙකු නොවේ. පැරණි රජ දවසේ පටන් සිංහල බෞද්ධ භික්ෂුව විවිධ ආකාරයෙන් දේශපාලනයට මැදිහත්ව ඇත. ආචාර්ය  වල්පොළ රාහුල හිමියන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘භික්ෂුවගේ උරුමය'(Heritage of Bhikkhu) මඟින් සාකච්ඡාවට ගනු ලබන්නේ එම ලාංකික භික්ෂු සම්ප්‍රධායයි. ‘ලංකාවේ බෞද්ධ ශාසන ඉතිහාස History of Buddhism in Ceylon: The Anuradhapura Period, 3rd Century BC – 10th Century AD පර්යේෂණ කෘතිය මගින් රාහුල හිමියෝ  එකී භික්ෂු උරුමය සඳහා බොහෝ ඓතිහාසික තොරතුරු සම්පාදනය කරති. රාහුල හිමියන්ට සමකාලීනව  උඩකැන්දවල සිරි සරණංකර ,බඹරැන්දේ සිරිසීවලී, නාරාවිල ධම්මරතන වැනි භික්ෂූහු ඉන්දියාවේ නිදහස් අරගලයට පවා ඍජුව සහභාගී වූ යතිවරයෝ වූහ. එම ප්‍රකට භික්ෂූන් විසින් යම්කිසි දේශපාලනයක් සිදු කරන ලද බව සැඟවිය නොහැක. එම යුගයේ භික්ෂුවගේ දේශපාලන කාර්යභාරය සැඟවිය යුතු ද නොවේ. ඔවුහු කිසිදු අවස්ථාවක  භික්ෂු චර්යාව ඉක්මවා යමින්  අසංවර භාෂණයෙහි හෝ අසංවර හැසිරීමක නිරත නොවූහ. ලංකාවේ භික්ෂු දේශපාලනයේ ඓතිහාසික කඩයිමක් වන ‘විද්‍යාලංකාර ප්‍රකාශනය’ එකී ක්‍රියාවලියේ උත්කර්ෂවත් කූඨප්‍රාප්තියයි එම භික්ෂු සමූහය අතරින් මරණය තෙක් දේශපාලනය සිදුකළ උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ චරිතය මඟින් කියාදෙන පාඩම වන්නේ භික්ෂුවක් දේශපාලනයේ නිරතවන්නේ නම් ඔවුන් විසින් අනුගමනය කළ යුතු චර්යාවයි.

උඩකැන්දවල හිමියන් විසින් දේශපාලනයේ නිරත භික්ෂූන් සඳහා ඉතිරි කරන ලද දේශපාලන ආදර්ශය සම්බන්ධයෙන් එක උදාහරණයක් මිහින්තලයේ භාරකාර භික්ෂුව ඇතුළු ඔහුගේ සගයන්ගේ  අවබෝධය පිණිස ඉදිරිපත් කරනු කැමැත්තෙමි. 1965-70 අතර  බලයේ සිටි අගමැති ඩඩ්ලි සේනානායක යටතේ ඡන්ද කොට්ඨාශ තුනක් (බලංගොඩ – බෙන්තර ඇල්පිටිය සහ බණ්ඩාරවෙල)  සඳහා එකම දිනයක පැවැත්වුණ අතුරු මැතිවරණ තුනකින්  එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය. ඩඩ්ලි සේනානායක මහතා ලද එම දේශපාලන පරාජය ඊළඟ උදයේ  ‘ඇත්ත’ පුවත්පත මඟින් ප්‍රධාන පුවත හැටියට වාර්තාකරන ලද්දේ ‘ඩඩ්ලිට තුනම නැහැ’ යන සිරස්තලයක් යටතේය. එම සිරස්තලය මඟින් කියැවෙන එහි යටි අරුත හේතුවෙන් උරණ වූ උඩකැන්දවල හිමියන් ‘ඇත්ත’ උපදේශක කර්තෘ එච්.ජී.එස්. රත්නවීරයන්ට දුරකතනය මඟින් සිය විරෝධය පළ කෙළේය. එයින් නතර නොවූ ඒ හිමියන්  එකී සිරස්තලයට වගකිව යුතු  ‘ඇත්ත’ කර්තෘ බී. ඒ. සිරිවර්ධන සහ විශේෂාංග කර්තෘ සිරිලාල් කොඩිකාර හමු වී සිය විරෝධය පළ කිරීම සඳහා පැමිණෙමින් සිටින බව ආරංචි වූ  මාධ්‍ය ලෝකයේ දැවැන්තයන් දෙදෙනා  (සිරිවර්ධන සහ සිරිලාල්) වෙනත් දොරකින් පිටව ගොස්  බොරැල්ලට වී කාලය ගත කළහ. (එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම ලේඛකයා දැනුවත් කරන ලද්දේ ‘ඇත්ත’ පුවත්පතේ කතුවරයා මෙන්ම සම්භාවනීය මාධ්‍යවේදියකු වූ බී.ඒ.සිරිවර්ධන සහ එම පුවත්පතේ විශේෂාංග කර්තෘ සම්භාවනීය මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර විසිනි.)

පස්වැනි පිවිසුම ;

බෞද්ධ ජනයාගේ ආගමික ජීවිතයට අදාළව සුවිසල් මෙහෙයක් සිදුකරන නිරාමිෂ දිවි පෙවෙතක් සහිත බෞද්ධ භික්ෂූන් වහන්සේ බොහොමයකි. ජනතාව සමඟ ජීවත්වෙන එම භික්ෂූන්ට අති සුඛෝපභෝගී මන්දිර හෝ  අලුත් මාදිලියේ යාන වාහන නොමැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පොදු ප්‍රවාහනයෙන් හෝ පා ගමනින් යමින් ජනතා මෙහෙවර ඉටුකරති. එවැනි භික්ෂූන්ගේ කතාව හැසිරීම සංවරය. සංසුන්ය. මිනිසුන්ට අවමන් නොකරති. අසැබි වචන නොකියති. දේශපාලන වේදිකාවේ කව් ගී ගායනා නොකරති. කාමභෝගී ජීවිත ගත නොකරති.ඉහත සඳහන් කරන ලද ධම්මපදයේ භික්ෂු වර්ගයේ ඉගැන්වීම් මඟින් ප්‍රාර්ථනා කරන්නේ එවැනි හැසිරීමක් සහිත භික්ෂුවකි.

මෙම ලිපිය ආරම්භයෙහි සඳහන් කරන ලද අමෙරිකානු සාම පා ගමනේ නිරතවෙමින් සිටින භික්ෂූන් සමඟ සංසුන්ව ගමන්කරන ‘ආලෝක’  ආගම් භේදයෙන් තොරව මිනිස් උපහාරය ලබන්නේ ද  හැසිරීම හේතුවෙනි.

– උපාලි ගජනායක

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට

Follow by Email
LinkedIn
Share
WhatsApp