Impartial news reporting for a stronger democratic society
මිලියන 97 දේපොළ තහනමට එරෙහි කෙහෙළිය පවුලේ පෙත්සම ඉවතට

Lanka Sara

වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති  කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් ගොනු කළ පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  ඊයේ (නොවැම්බර් 3 වැනිදා) නියෝග  කෙළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම  කරන විමර්ශනයකට අදාළව

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන, දියණියක වන  චන්දුලා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය  මෙම පෙත්සම් ඉදිරිපත් කැර තිබිණි.

අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව සම්පත් අබේකෝන්, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙළේ ය.

විමර්ශනයකට අදාළව, දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සිය වත්කම් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ බවත්, එම තහනම් නියෝගය දීර්ඝ කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කැර තිබිණි.

මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමට පෙර ඊට අදාළව තමන්ගෙන් කරුණු විමසීමක් නොකළ බව පෙන්වා දුන් පෙත්සම්කරුවෝ ඒකපාර්ශවික කරුණු දක්වමින් මෙම තහනම් නියෝග ලබාගෙන තිබෙන බවටත් චෝදනා කළහ. මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවත්, ඒ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් පෙත්සම්කරුවෝ කරුණු දැක්වූහ.

බීබීසී ඇසුරෙන්