Impartial news reporting for a stronger democratic society
මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් 2025 වසරේ අත්අඩංගුවට ගත්තා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (22) විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළ ප්‍රගතිය පැහැදිලි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,2025 ඔක්තෝබර් 30 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නායකත්වයෙන් රාජ්‍ය යාන්ත්‍රණය, ශ්‍රී ලංකා පොලීසිය හා සෙසු සියලුම ආයතන ඒකාබද්ධව විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ සුවිශේෂී කාර්යයභාරයට ප්‍රවේශයක් ලබාදුන්නා. මේ වන විට ඉතාමත් සාධනීය ප්‍රතිඵල රැගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට එමඟින් හැකියාව ලැබී තිබෙනවා.

2024 වසරේ හෙරොයින්, ගංජා, කොකේන් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවද 2025 වසරේ පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය සහ මැදිහත්වීම මත තීව්‍ර කරන ලද සියලුම මෙහෙයුම් හරහා 2025 වසරේ අති සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වූණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2025 වසරේ හෙරොයින්, ගංජා, කොකේන් සහ හෂීස් සහ අයිස් යන සියලුම මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම් 23692ක් සහ ග්‍රෑම් 307ක් සදහා මෙම මෙහෙයුම් තීව්‍ර කිරීමට හැකියාව ලැබුණා.

2024 වසරේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 832 ක් වුවද 2025 වසරේ එම ප්‍රමාණය මෙන් තුන් ගැණයක් පමණ එනම්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1821ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූණා. ශ්‍රී ලංකා පොලීසිය තීව්‍ර ලෙස සෝදිසි කිරීම්, පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් මෙහෙයවීම මත මෙම හැකියාව ලැබුණා.

2024 වසරේ ගංජා කිලෝ ග්‍රෑම් 8359ක් 2025 වසරේ 17189ක් දක්වා වැඩි කර තීව්‍ර කිරීමට නොඑසේ නම් සෝදිසි තීව්‍ර කිරීමට හැකියාව ලැබුණා. කොකේන්, හෂීස් සහ අයිස් සංසන්දනාත්මක අගයක් සලකා බැලීමේදී 2024 සහ 2025 වසරවල මත්ද්‍රව්‍ය ජාවාරමට සියයට සීයකින් තිත තැබීමට හැකියාව ලැබුණා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ජාලගත අපරාධයක්. එනම් හුදෙක් මුදල් පසුපස යමින් මුදල් මත යැපෙන ව්‍යාපාරයක්. මෙම ජාලගත අපරාධයට විදෙස්ගත වී අධිකරණයෙන් සැඟවී සිටින විදේශිකයන් පවා විදේශ රටවල සිටින අපරාධකරුවන්ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

Follow by Email
LinkedIn
Share
WhatsApp