
අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව යුද්ධය ඇරඹීමෙන් පසු (සති 3ක කාලය ඇතුළත) ඉරානයේ සහ මැද පෙරදිග කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරයන් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් ජාලයේ දැවැන්ත පසුබෑමක් සිදුව ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කැර තිබේ.
පසුගිය 18 වැනිදා රාත්‍රියේ ඊශ්‍රායල හමුදාව ඉරානයේ දකුණු පර්සියානු ගෑස් නිධියට (South Pars) පහරදීමත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදාව කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගෑස් මෙහෙයුම් කලාපය වන රාස් ලෆාන් කාර්මික නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් නිසා එය වඩාත් බරපතළ තත්ත්වයට පත්වී ඇතැයි ද සඳහාන් වේ.
දැනට හඳුනාගත් ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන පර්සියානු මුහුදේ පිහිටි ස්වාභාවික ගෑස් නිධිය ඝන අඩි ට්‍රිලියන 1,800කින් සමන්විත බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඇස්තමේන්තු කැර ඇති අතර, මේ අතිවිශාල ස්වාභාවික ගෑස් නිධියට පහරදීමෙන් ඊශ්‍රායලය සහ ඉරානය ජාත්‍යන්තර දැඩි අප්‍රසාදයට ලක්වී ඇතැයි ද අනාවරණය වේ. යුද්ධය ආරම්භයේදීම ඊශ්‍රායල හමුදාව ඉරානයේ අසලුයේ බලශක්ති ගබඩා සංකීර්ණයට පහර දුන් අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදාව කටාර්, සෞදි, එමිරේට්ස් ඇතුළු මැදපෙරදිග රටවල පිහිටි බලශක්ති යටිතල පහසුකම් 5කට ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අඛණ්ඩව දින ගණනාවක් පුරා බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ටෙහෙරාන් නුවර ෂහ්රාන් තෙල් පිරිපහදු සංකීර්ණය සහ ටෙහෙරාන් තෙල් පිරිපහදු සංකීර්ණය, අගාදෂී, ෆර්දීස් සහ කරජ් තෙල් ගබඩාවට දැඩි හානි සිදුවී ඇති අතර, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි එරට බලශක්ති යටිතල පහසුකම් අතර අතිශය වැදගත් ස්ථානයක් සහ එරට තෙල් අපනයනයේ ප්‍රධානතම මධ්‍යස්ථානය වන කාර්ග් දූපතට අමෙරිකානු හමුදාවෙන් එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් ඉරානයට තෙල් අපනයනයෙන් වැඩි කොටසක් අහිමි වූ බව සඳහාන් වේ.( දිනමිණ ඇසුරෙන්)
