
මහනුවර ඔරලෝසු කණුව ආසන්නයේ සිටි යාචක කාන්තාවක් අරුප්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගං ඉවුරට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කැර පොලීසියට භාර වූ 30 හැවිරිදි තරුණයා අංකුඹුර, ගල්කන්ද නිවෙසකදී කාන්තාවක් ඝාතනය කැර පුලුස්සා දැමීමේ සිද්ධියට ද සම්බන්ධ බවට පොලීසිය සැක කරයි.
නාය යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් නිවැසියන් ඉවත්වූ ගල්කන්ද ප්‍රදේශයේ නිවෙසක තිබී සොයා ගත් දැඩි ලෙස පිලිස්සුණු මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයා සහ මේ සැකකරු සමීප ඇසුරක් පවත්වමින් එකම නිවෙසේ වාසය කැර තිබෙන බව පොලීසිය පවසයි.
අංකුඹුර, ගල්කන්ද නිවෙසේදී ඝාතනයට ලක්ව ඇත්තේ ද යාචක කාන්තාවක් බවට පොලීසිය සැක කරයි. එම ඝාතනය සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු අදාළ තරුණයා අරුප්පොළ ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරේදී යාචක කාන්තාව ඝාතනය කැර තිබිණි. සිද්ධියෙන් පසු මහනුවර පොලීසියට පැමිණ පාපෝච්චාරණයක් කරමින් ඔහු කියා තිබුණේ, ණයට ඉල්ලා ගත් රුපියල් ලක්ෂයක මුදලින් හිඟ මුදල ඉල්ලා නිතර කරදර කිරීම නිසා ඇයව ඝාතනය කළ බවයි.
යාචක කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහනුවර පොලීසියේ අපරාධ අංශය සැකකරුගේ ප්‍රකාශවලින් ඔහු අංකුඹුර, ගල්කන්ද ප්‍රදේශයේ සිදු වූ ඝාතනයට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
කලක් ලොතරැයි අලෙවි කළ මේ සැකකරු අංකුඹුර, ගල්කන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කළ බවට සැක කෙරෙන 73 හැවිරිදි පුද්ගලයාට තාත්තා යනුවෙන් ආමන්ත්‍රණය කරන බව ද පොලීසිය පවසයි.
යාචක කාන්තාව ඝාතනයේ සැකකරු ඔහුගේ මව සහ අංකුඹුර ඝාතනයේ සැකකරු ගොහාගොඩ, තේක්කවත්ත ප්‍රදේශයේ නිවෙසක එකට වාසය කැර තිබෙන බව ද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.
අංකුඹුර, ගල්කන්ද නිවෙසේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර නියාමකවරයා සොරකම් 15ක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 17ක සිරදඬුවම් විඳ 2019දී නිදහස්ව පැමිණ ඇත.
යාචක කාන්තාවක් රැගෙන තමන් ද පියා සමඟ අංකුඹුරට ගිය බව 30 හැවිරිදි සැකකරු පොලීසියට පවසා තිබේ. ඔහු තරමක මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බැවින් අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.
අරුප්පොළ ගං ඉවුරේදී ඝාතනයට ලක්වූ යාචක කාන්තාවක පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැති අතර, මහනුවර ඔරලෝසු කණුව අසල ඇය සමඟ යාචක වෘත්තියේ නිරත වූ පිරිසකගෙන් පොලීසිය ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, පොලිස් අධිකාරි (01) දයාල් ඉලංගකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන, පොලිස් පරීක්ෂක ආර්. පී. වීරරත්න, මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජපක්ෂ මහත්වරු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.
(දිනමිණ ඇසුරෙන් -අසේල කුරුළුවංශ සහ මහනුවර සමූහ)
