
මඩකලපුව කලුවාංචිකුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල්මඩම් ප්‍රදේශයේ සැක සහිත මිනිස් සමූහ සොහොන් කුහරයක් ලෙස හඳුනාගත් ස්ථානයේ කැණීම් කටයුතු ඊයේ (30) ආරම්භ කෙරිණි.
මේ සිද්ධියට අදාළ නඩුව 2012 වසරේ ආරම්භ වී 2014 දී නවතා දමා තිබූ අතර, 2017 දී යහපාලන ආණ්ඩු සමයේ නැවත විමර්ශන ආරම්භ කෙරිණි. අනතුරුව 2025 වසරේ එම ස්ථානය කැණීමට අධිකරණ අවසරය ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කැර තිබූ අතර, 2026 මාර්තු 9 වැනි දින නඩු විභාගයේ දී ඊයේ (30) කැණීම් සිදු කිරීමට නියෝග ලබා දී තිබුණි.
ඒ අනුව, කලුවාංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රදීපන් මහතා ඉදිරියේ මේ කැණීම් කටයුතු ආරම්භ විය.
1990 වසරේ හජ් වන්දනාවෙන් පැමිණි 167 දෙනෙකු කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පැහැරගෙන ගොස් අතුරුදන් කර ඝාතනය කර ඇති බවට සැකය මත මේ කැණීම් සිදු කෙරේ.
මේ අවස්ථාවට මහේස්ත්‍රාත් ප්‍රදීපන් මහතා, නීතිඥයන්, උසස් පොලිස් නිලධාරීන්, කලුවාංචිකුඩි පොලීසිය, මඩකලපුව අපරාධ පරීක්ෂණ අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ප්‍රාදේශීය සභා නියෝජිතයන් සහ අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.
පළමු අදියරේ කැණීම් කටයුතු සඳහා රේඩාර් තාක්ෂණය මඟින් හඳුනාගත් ස්ථානය මීටර් 5×5 ප්‍රමාණයෙන් හා මීටර් 9ක් ගැඹුරින් කැණීමට සැලසුම් කැර ඇති අතර, දින 5 සිට 7 දක්වා පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
(දිනමිණ- සමන්තුරේ සමූහ – ජලීල් ජී., මඩකළපුව සමූහ – ටී.එල්. ජව්ෆර්කාන්)
