Impartial news reporting for a stronger democratic society
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීම : පාපිස්සේ තිබු ශුක්‍රාණු පල්ලේගම හේමරතන හිමියන්ගේ රජයේ රස පරීක්ෂක තහවුරු කරයි – ස්ථානීය පරීක්ෂණයේදී හමු වූ හිසකෙස් වෙනත් කාන්තාවකගේ බව අනාවරණය  වෙයි

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව විභාග වන නඩුවේ රස පරීක්ෂණ වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිල වශයෙන් ඉදිරිපත් කැර තිබේ.
අදාළ නඩු වාර්තාවලට අනුව, අපරාධය සිදු වූ බව කියන ස්ථානයේදී විමර්ශන නිලධාරීන් භාරයට ගත් නඩු භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල මෙම වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දී ඇත.

පාපිස්සේ තිබී ශුක්‍රාණු හඳුනාගැනීම

සිද්ධියට අදාළ ස්ථානීය පරීක්ෂණයේදී වින්දිත දැරිය විසින් පෙන්වා දෙන ලද, ආවාස ගෙයි ඇඳ පාමුල තිබූ පාපිස්ස සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබේ. එහිදී එම පාපිස්සේ දෙපැත්තේම සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ ශුක්‍රාණු අඩංගු බවට තහවුරු වී ඇති බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, එම පාපිස්සෙහි කිසිදු රුධිර පැල්ලමක් හඳුනාගෙන නොමැති බවද අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් තහවුරු කැර ඇත.
අපරාධ ස්ථානයෙන් හමුවූ හිසකෙස් කොටස

නිට්ටඹුව පොලිසිය මඟින් 2025 මැයි 21 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවට අනුව, දැරිය අපරාධ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේදී ඇය විසින් පෙන්වන ලද ආවාස කුටිය තුළ තිබී දිගු හිසකෙස් කොටසක් ද පොලිස් භාරයට ගෙන තිබිණි.
මෙම හිසකෙස් කොටස සම්බන්ධයෙන් සිදුකළ රස පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ, අදාළ හිසකෙස් කොටස වින්දිත බාලවයස්කාර දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බවයි.

නීතිපති උපදෙස් සඳහා නඩුව කල් තැබීම

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ B 22424/2026 දරන නඩු ගොනුව යටතේ මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, ඉදිරිපත් වූ රස පරීක්ෂක වාර්තාවේ පිටපතක් ඉදිරි නීතිමය පියවර සඳහා රජයේ රස පරීක්ෂකවරයා නීතිපතිවරයා වෙත ද යොමු කැර ඇත.
මෙම චෝදනාව සම්බන්ධයෙන් සැකපිට පසුවන පල්ලේගම හේමරතන හිමියන්ට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් සහ දැඩි ඇප කොන්දේසි පනවා තිබේ.

ඉදිරිපත් කැර ඇති සාක්ෂි හා වාර්තා පදනම් කරගනිමින් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා මෙම නඩුව 2027 ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කෙළේය.

Source- The Leader

Follow by Email
LinkedIn
Share
WhatsApp