

බන්ධනාගාරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ නියෝගය පරිදි කිසිදු බාධාවකින් තොරව ඔහුට ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු නායකයන් 22 දෙනකු පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්ට ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයට ලෝක කුසලානය දිනා දුන් එරටින් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් නායකයා ද වන ඉම්රාන්ට පෞද්ගලික රෝහලක වෛද්‍ය පරික්ෂණවලට පෙනී සිටීමට සහ පවුලේ ඥාතීන් හමුවීමට අවස්ථාව දෙන ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ද, රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යෑම අවධාරණය කරමින් එම ලිපිය යොමු කර ඇතැයි වාර්තා වේ.
එම ක්‍රියාවලිය අධිකරණ නියෝගයට පටහැනිව සිදු වී ඇති බැවින්, 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස හිටපු ක්‍රිකට් නායකයන් සිය ලිපියෙහි සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සතියකට වරක් ඔහු හමුවීමට අවසර දෙන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.
ඉන්දියාවේ හිටපු නායකයන් වන සුනිල් ගවස්කර්, කපිල් දේව්, ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයන් වන ඉයන් චැපල්, ග්‍රෙග් චැපල්, ඇලන් බෝඩර්, කිම් හියුස්, ස්ටීව් වෝ, ඇඩම් ගිල්ක්‍රිස්ට්, නවසීලන්ත පිලේ හිටපු නායක ජෝන් රයිට්, එංගලන්ත පිලේ හිටපු නායකයන් වන නසාර් හුසේන්, මයික් ඇතර්ටන්, ඩේවිඩ් ගවර්, බටහිර ඉන්දීය පිලේ හිටපු නායක ක්ලයිව් ලොයිඩ් සහ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් එම ලිපියට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔවුන්ගෙන් 14 දෙනකු පසුගිය පෙබවාරියේදී ද ඉම්රාන්ට වෛද්‍ය ප්‍රතිකාර හා මානුෂීය සැලකිල්ල ලබා දෙන ඉල්ලා පාකිස්තාන අගමැතිවරයාට ලිපියක් යොමු කැර ඇතැයි වාර්තා වේ.
