Impartial news reporting for a stronger democratic society
බ්‍රිතාන්‍යයේ දැවැන්ත රැකියා හිඟයක් : ශ්‍රී ලාංකිකයිනුත් රැකියා පෝලිමේ

එප්ස්ටීන් ලිපිගොනු, චාල්ස් රජතුමාගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගැනීම, සංක්‍රමණික විරෝධී ජාතිවාදයේ මතුවීම සහ දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹිලි අස්සේ බ්‍රිතාන්‍යය බරපතළ ආර්ථික ගැටලුවලටත් මුහුණ දෙමින් ඉන්නවා.
බ්‍රිතාන්‍යයේ විරැකියා ප්‍රතිශතය අවුරුදු 5ක් ඇතුළත ඉහළම අගයට ඇවිල්ල කියල පසුගිය සතියේ වාර්තා වුණා.
මේකේ බරපතළම විදියට බලපාල තියෙන්නේ තරුණ පරපුරට. වයස 16ත් 24ත් අතර තරුණ තරුණියන් අතර විරැකියාව අවුරුදු දහයක් ඇතුළත ඉහළම ප්‍රතිශතය පෙන්නුම් කරනවා.
ඒ එක්කම මෑතදී බ්‍රිතාන්‍යයට ආපු ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයිනුත් රැකියාවක් හොයාගන්න දුෂ්කර ක්‍රියා කරමින් ඉන්නවා.
මහ වීදියේ කඩ සාප්පු, ආපන ශාලා සහ හෝටල් කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල අය කියන්නේ එන්න, එන්නම ඉහළ යන වියදම් නිසා රැකියාවලට අලුතෙන් බඳවා ගැනීම අසීරු බව. ඒ වගේම Temu, Shein වගේ අන්තර්ජාල සමාගම් එක්ක තරග කරන්න නොහැකිවීම සමහර ක්ෂේත්‍රවලට තදින්ම බලපාල තියෙනව.
උදාහරණයක් විදියට බ්‍රිතාන්‍යයේ සේරම සාප්පු වහල දාන එකම දවස නත්තල. එදාට මිනිස්සු සාමාන්‍යයෙන් ගෙදරට වෙලා පවුලේ අයත් එක්ක වයින් එකක් බීල නත්තල් කෑමක් රස විඳිනවා. හැබැයි නත්තල් දාට පස්සේ රෙදි සාප්පුවල මහා සේල් එකක් දාන නිසා සාමාන්‍යයෙන් සිද්දවෙන දේ තමයි දෙසැම්බර් 26 උදේ පාන්දර 4,5ට විතර ඉඳල මිනිස්සු මේ සාප්පු ඉස්සරහ පෝලිම් ගැහෙන එක.
ඒත් ගිය අවුරුද්දේ නත්තල් දවසට පස්සේ එහෙම ලොකු පෝලිම් දකින්න තිබුණෙ ම නැති තරම්. හේතුව? වෙන කවදාවත් නැති තරම් මිනිස්සු නත්තල් දවසේ online සාප්පුවලින් බඩු අරගෙන තිබුණ.
ව්‍යාපාරිකයින් කියන විදියට මේ රැකියා හිඟයට අනිත් ප්‍රධානම හේතුව කෘතිම බුද්ධිය (AI). විශේෂයෙන්ම මීට ඉහතදී ආධුනිකයින් විසින් කරපු බොහෝ කටයුතු AI මාර්ගයෙන් ඉටුකරගන්න පුළුවන් කියල ඔවුන් කියනවා.

කේම්බ්‍රිජ් ගිහින් ඇවිත් cafe එකේ ජොබ් එකක්

රැකියා අර්බුදය කොයි තරම් බරපතලද කියනවා නම් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරපු එක් ශිෂ්‍යාවක් රැකියා 50කට ඉල්ලුම්පත්‍ර දැම්මත් interview ඇවිත් තිබුණෙ එක job එකකට විතරයි කියල BBC වාර්තා කරලා තිබුණ. ඇය දැන් ලන්ඩන් වල cafe එකක පොඩි ජොබ් එකක් කරනවා.
අවුරුදු තුනක් තිස්සේ 19-හැවිරිදි තරුණියක් රැකියා 205 කට ඉල්ලුම් කරලා තිබුණ. ඒත් තවමත් ඇයට රැකියාවක් නැහැ.
සංක්‍රමණිකයින්ගේ පැත්තෙන් ගත්තම මේක තවත් සංකීර්ණයි.
පහුගිය අවුරුදු කිහිපයේ බ්‍රිතාන්‍යයට ආපු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට දේශපාලන රැකවරණ ලැබිල තියෙනව. තවත් සමහරු දේශපාලන රැකවරණ හෝ නූතන වහල් මෙහෙය යටතේ දාපු ඉල්ලුම්පත්‍රවල ප්‍රතිඵල බලන් ඉන්න අතරේ රැකියාවක් සොයාගන්න උත්සහ කරනවා. ඒ වගේ අයට කරන්න පුළුවන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියම කරලා තියන Temporary Shortage List (TSL) එකේ තියන රැකියාවක් විතරය්. නමුත් එහෙම ජොබ් vacancy එකක් හොයාගත්තත් අමාරුම දේ තමයි පළපුරුද්ද ඔප්පු කරන එක. අනික ඉන්න තැනක් හොයාගන්න වගේම ජොබ් එකකට යන්නත් අනිවාර්යයෙන්ම reference දෙන්නත් ඕන.
වෙනත් කිසිම දැන හඳුනුම්කමක් නැතුව ළඟදි මේ රටට ආපු මිනිස්සු කොහොමද reference දෙන්නේ? ඒ වගේම ඔවුන් කොහොමද පළපුරුද්ද පෙන්නන්නේ? අනික කවදාවත් ජොබ් එකක් කරලා නැති, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරපු තරුණයෝ කොහොමද experience පෙන්නන්නේ?
ගොඩක් වෙලාවට application එකක් දැම්මත් සමහර ආයතනවලින් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙත් නැහැ.
රට පුරාම තියන පුණ්‍ය ආයතනවල ස්වෙච්ඡා සේවකයෙක් විදියට වැඩ කරලා පළපුරුද්දක් ලබාගැනීම බ්‍රිතාන්‍යයේ job ladder එකට ගොඩවෙන්න තියන තවත් එක ක්‍රමයක්. ඒත් රටේ විරැකියාව කොයි තරම් උග්‍ර වෙලාද කියනවා නම් ස්වේච්ඡාවෙන් වැඩකරන්න අවස්තාවක් ලබාගැනීම පවා දැන් හරිම දුෂ්කර වැඩක්.
ඉස්සර වගේ නෙවෙයි දැන් ස්වේච්ඡා සේවකයෙක් වෙන්නත් ගොඩක් වෙලාවට online application එකක් පුරවල බලාගෙන ඉන්න ඕනේ. එහෙම කළත් application ඉක්මනට ප්‍රතිචාරයක් ලැබෙන්නෙත් නැහැ. අනික ස්වේච්ඡා ජොබ් එකකට යන්නත් reference දෙකක් විතර දෙන්න ඕනෑ. ඇත්තටම තරුණ පරපුර හොයන්නේ ස්වේච්ඡා සේවය නොවෙයි – ජීවිතේ පටන් ගන්න රැකියාවක්. නමුත් ස්වේච්ඡා සේවයක් හොයන සංක්‍රමණිකයෙක් කොහොමද reference දෙන්නේ?
බරපතළ ආර්ථික ගැටලු සහ දේශපාලන අවිනිශ්චිතතාව හමුවේ, බ්‍රිතාන්‍යයේ මේ බරපතළ රැකියා හිඟයට ඉක්මන් විසඳුම් ලැබේවි කියල හිතන්නත් අමාරුයි.

(සටහන -සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්…)
2026 පෙබරවාරි 21

Follow by Email
LinkedIn
Share
WhatsApp